Saturday, July 27, 2024
Follow Us
රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට අලුත් අවස්ථා

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට සෘජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Bootcamp නමින් වැඩසටහන ආරම්භ විය.


ඒ සඳහා මේ වන විට එක්දහස් දෙසීයකට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටී.


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහ තාක්ෂණ අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය මේ සඳහා ලැබී තිබේ.

                            
මෙරට ප්‍රකට සහ කීර්තිමත් තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංවිධාන සහ සමාගම් මෙම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනට එක් ව තිබෙන අතර ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය ( FITIS) මේ අතර වෙයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/2022 හි ප්‍රතිපාදන අනුව රාජ්‍ය අංශයෙන් බැහැර ව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) තාවකාලික නිවාඩු අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ උපාධිධාරී රාජ්‍ය සේවකයන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම Refresher Bootcamp වැඩසටහනෙහි දෙවන අදියර සිව් දිනක් පුරා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන පරිශ්‍රයේ දී පැවැති අතර එම අවස්ථාවට එක් වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ රටේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක වීමට මෙම රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව උදා වී තිබෙන අතර මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය මුහුණ දී සිටින මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුමක් ළඟා කර දීමට හැකි වී තිබෙන බවයි.

මෙම සිව්දින පුහුණු වැඩසටහනේ දී කුසලතාවයන් සහ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට මෙන් ම නව තාක්ෂණ භාවිතයන් සහ තොරතුරු තාක්ෂණ රැකියා වෙළෙඳපොළේ ඇති අවස්ථාවන් පිළිබඳ වෘත්තීය මාර්ගෝපදේශ ලබා දෙනු ලැබීය.
තව ද මෙම වැඩසටහන අවසානයේ දී සහභාගි වූ උපාධිධාරීන් තොරතුරු තාක්ෂණ ආයතන සමඟ සම්මුඛ පරීක්ෂණවලට යොමු කළ අතර ඔවුන් රැකියා අවස්ථා තහවුරු කර ගන්නා තෙක් අවශ්‍ය උපදේශනය ලබා ගැනීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් උපදේශකවරුන් ලෙස ඔවුන්ට සම්බන්ධ කර දෙනු ලැබීය.