Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: මීළඟ ජනපති කළ යුත්තේ කුමක් ද? - ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අදහස්

කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව ඩයස්පෝරා (diaspora) යන්නෙහි අර්ථය, තමන් උපන් රටෙන් බැහැරව වෙනත් රටවල ව්‍යාප්ත වී සිටින ජන කොටසක් යන්නය. (a group of people who spread from one original country to other countries)

ඒ අනුව, ඩයස්පෝරා යන යෙදුම ඕනෑ ම ජන කොටසකට අදාළය. ශ්‍රී ලංකාවේ ඉපිද වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පොදුවේ 'ශ්‍රී ලාංකික ඩයස්පෝරාව' ලෙස හැඳින්විය හැකිය.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව නියෝජනය කරන එනම් ශ්‍රී ලංකාවේ ඉපිද මේ වන විට වෙනත් රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවන බව ඇස්තමේන්තු කෙරේ.

විවිධ හේතු මත ශ්‍රී ලංකාවෙන් බැහැරව වාසය කළ ද ඔවුහු නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලනික ප්‍රවණතා සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙති.

ඇතැමෙකු ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව කළකිරීමෙන් රට හැර ගිය අය වෙති. තවත් පිරිසක් වඩා යහපත් රැකියා අවස්ථා සහ යහපත් දිවිපෙවෙතක් පතා ශ්‍රී ලංකාව හැර ගිය අය වෙති. රැකවරණය පතා ශ්‍රී ලංකාව හැර ගිය පුද්ගලයින් පිරිසක් ද ඒ අතර වෙති.

මෙසේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙවර ජනාධිපතිවරණය පිළිබඳව සහ මීළඟට තේරී පත් වන ජනාධිපතිවරයාගෙන් කුමක් අපේක්ෂා කරන්නේ ද ?

මහාචාර්ය යසන්ත රාජකරුණානායක (ඇමෙරිකාව)
මහාචාර්ය යසන්ත රාජකරුණානායක යනු ශ්‍රී ලංකාවේ ඉපිද ඇමෙරිකාවේ පදිංචි වී සිටින පරිගණක සහ සන්නිවේදන ඉන්ජිනේරුවරයෙකි. ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ට ගණිතය ඉගැන්වූ ඔහු පේටන්ට් බලපත්‍ර 54ක හිමිකරුවෙකි.

මහාචාර්ය යසන්ත රාජකරුණානායක
ශ්‍රී ලංකාව යළි ගොඩ නැංවීම සඳහා ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාව වූයේ, දූෂණය පිටුදැකීම සදහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමයි.

"රට සංවර්ධනය කරන්න ඕන නම් දීර්ඝ කාලීන සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළ හැක්කේ දූෂණය පිටුදකින්න පුළුවන් නම් විතරයි," මහාචාර්ය යසන්ත රාජකරුණානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති රජයන්වලට දර්ශනයක් තිබුණෙ නැහැ. ඒ නිසා යම් දීර්ඝ කාලීන දර්ශනයක් අනුව ක්‍රියා කරන ජනාධිපතිවරයෙකුට රට ගොඩගන්න පුළුවන්."

ජෙෆ් බෙසෝස්ට ගණිතය ඉගැන්වූ ශ්‍රී ලාංකිකයා කතා කරයි
ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොකිරීමට ගත් තීරණය හරි ද? වැරදි ද?
ආචාර්ය සිසිර විතානච්චි (ජර්මනිය)
ජර්මනියේ වාසය කරන ආචාර්ය සිසිර විතානච්චි පරිසර පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකි. ජෝර්ජියානු රජය සඳහා පරිසර කළමනාකරණය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද ඔහු මුල් විය.

ආචාර්ය සිසිර විතානච්චි
එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කළ ඔහු පැවසුවේ, ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේදී සමාජයීය, ආර්ථික, පාරිසරික සහ ගෝලීය සාධක පිළිබදව අවධානය යොමු කළ යුතු බවය.

"ශ්‍රී ලංකාවේ තවමත් දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ, ඉතා ප්‍රාථමික දේශපාලනික අරමුණු සහ ඉල්ලීම් මත. ජාතිවාදී හැගීම් ඉස්මතු වන අදහස් මතු කරන, එහෙම නැත්නම් තමන්ගේ වර්ගයා පමණක් සලකා බලන මොළයට නොව හදවතට පමණක් කතා කරන අය පත් කිරීමට තමයි මිනිස්සු අපේක්ෂා කරන්නේ," ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ මීළග ජනාධිපතිවරයා විය යුත්තේ කුමන ගුණාංග සහිත පුද්ගලයෙකු ද යන්න පිළිබදව ඔහු පළ කළේ මෙවැනි අදහසකි.

"නිවැරදි ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන, නිවැරදි විදිහට ශ්‍රී ලංකාවේ සියලු ජන වර්ග, සියලු ආගම්, රටේ සියලු දෙනා සමග එකට වැඩ කළ හැකි තිරසර සාමය ස්ථාපනය කළ හැකි, පරිසර කළමනාකරණය පිළිබදව අවංක අවබෝධයක් ඇති බුද්ධිමත් පුද්ගලයෙක් තමයි රටේ ජනාධිපති විය යුත්තේ," ආචාර්ය සිසිර විතානච්චි පැවසීය.

"අපි ජීවත් වන යුරෝපා රටවල අපි දකිනවා මේ දේශපාලන නායකයින් උගත් බුද්ධිමතුන්. ඔවුන් විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි ඇති විෂයයන්වල විශේෂඥයින් තමයි අදාළ තනතුරුවලට පත්වෙන්නේ."

ශානිකා සෝමතිලක (නවසීලන්තය)
විදුලි ඉන්ජිනේරුවරියක, දේශපාලනික කාටූන් නිර්මාණ ශිල්පිනියක මෙන් ම දේශපාලනික මතධාරිනියක වන ශානිකා සෝමතිලක නවසීලන්තයේ වාසය කරයි.

ඇය ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ සමාජයීය ප්‍රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන්නියක පමණක් නොව විවිධ මත මෙන් ම කාටූන් ද ඉදිරිපත් කරන්නියකි.

නවසීලන්තය මෙහෙමයි, ශ්‍රී ලංකාවත් එහෙම ද?

ශානිකා සෝමතිලක
ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "පොරොන්දු දීම පමණක් නොව එම පොරොන්දු ඉටු කළ හැකි ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ඡන්ද දායකයින් ක්‍රියා කළ යුතු," බවය.

ඇය සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා පහත දැක්වෙන ගුණාංගවලින් සමන්විත විය යුතුය.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට වග කියන විශ්වාසවන්ත නායකයෙකු විය යුතුය.
ප්‍රකාශනයේ නිදහසට ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය.
ජාති, ආගම්, කුල, ලිංග භේද නොතකන්නෙකු විය යුතුය.
ආචාර ධර්මවලින් සමන්විත විය යුතුය.
රට මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දිය හැකි දර්ශනයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.
ගයන්ත්‍රා බණ්ඩාරනායක (එංගලන්තය)
ගයන්ත්‍රා බණ්ඩාරනායක යනු රැකියාව වෙනුවෙන් එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණියකි. ඇය දේශපාලනික සහ සමාජයීය කරුණු පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අදහස් පළ කරන තරුණ පරපුර නියෝජනය කරන්නියකි.

ගයන්ත්‍රා බණ්ඩාරනායක
විදෙස් රටවල පවතින තත්ත්වය පිළිබඳව ඇය මුලින් ම අදහස් පළ කළාය. "බොහොමයක් දියුණු රටවලට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් ඒ කියන්නේ 99%ක් ම ඉන්නේ විදෙස්ගත වීම පිළිබඳව සතුටින්. විදේශ රටවල ජීවිතය අභියෝගාත්මකයි. මහන්සි වෙලා වැඩ කිරීම හරහා ඉහළ ජීවන තත්ත්වයක් ළගා කර ගැනීම තමයි මෙහි තියෙන එකම ජීවන ක්‍රමය. මහන්සි වෙලා වැඩ කිරීමෙන් ලැබෙන වැටුපෙන් රජය පොදු සේවා සැපයීම සඳහා කපා ගන්න බදුවලින් ජනතාවට ඉහළ සේවාවක් සපයනවා."

ඇය පෙන්වා දුන් ආකාරයට රට සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී පත් වන ජනාධිපතිවරයෙකු ඉටු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයකි.

ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයක් රටේ ප්‍රවාහන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් තුළ ඇති කළ යුතුය.
රටට පිටින් එල්ල විය හැකි තර්ජනවලින් ආරක්ෂා වීම සේ ම රට තුළ වෙසෙන්නන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය. විශේෂයෙන් ම කාන්තාවන්ට නිදහසේ ගමන් බිමන් යෑමේ අයිතිය හා හැකියාව සැලසිය යුතුය.
යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය.
රටේ තරුණ පරපුරට දේශපාලන අතකොළු නොවී ස්වාධීනව නැගී සිටීමේ හැකියාව හිමි කර දිය යුතුය.
උසස් අධ්‍යාපනය සඳහා රටින් පිටව බහුතරය නැවත රට තුළට ගෙන්වා ගැනීමේ ක්‍රම වේදයක් නායකත්වය තුළින් ඇති විය යුතුය.
මහන්සි වී වැඩ කරන ජනතාවක් නිර්මාණය කර ඔවුන්ට නිසි ප්‍රතිලාභ ලබා දිය යුතුය.
රටේ අස්ථාවරත්වය නිසා අහිමි වී ගිය රැකියා අවස්ථා නැවත ස්ථාපනය කළ යුතුය.
විදෙස්ගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට සිය ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත (ඇමෙරිකාව)
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ පෝද්දල ජයන්ත යනු ජීවිත තර්ජන හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයෙකි.

Image copyrightPODDALA JAYANTHA/FACEBOOK
Image caption
පෝද්දල ජයන්ත
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, "2015 බලයට පැමිණි රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන්න ලොකු වැඩ කොටසක් කළා. ඒක අගය කළ යුතුයි. ජාතික මැතිවරණ කොමිසම පිහිටුවීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම වගේ සාධනීය දේවල් ඒ කාලයේ සිදුවුණා," යනුවෙනි.

"මම නම් හිතන්නේ මීළඟ ජනාධිපතිවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කරන්න පියවර ගත යුතුයි. ජාතික ප්‍රශ්නයට අවංක විසඳුමක් දිය යුතුයි. අපරාධකරුවන් සම්බන්ධයෙන් දණ්ඩ මුක්තියට ඉඩ නොදිය යුතුයි. රටේ ධනය කොල්ල කෑවොත් ඒවා ආයෙත් උපය ගන්න පුළුවන්. ඒත් මිනිස් ජීවිත ආයෙත් ගේන්න බෑ. ඒ නිසා කුමන පාර්ශවයක වුණත් මිනීමරුවන්ට දණ්ඩ මුක්තිය නොදිය යුතුයි. අල්ලස් හා දූෂණ පිටුදැකීමට අවශ්‍ය නීති සකස් කළ යුතුයි," පෝද්දල ජයන්ත පැවසීය.

ඈන් වර්ණකුලසූරිය (ඉතාලිය)
වෙන්නප්පුවේ පදිංචි වී සිට මේ වන විට ඉතාලියේ වාසය කරන ඈන් වර්ණකුලසූරිය ද බීබීසී සිංහල සේවයට අදහස් පළ කළාය.

 

ඈන් වර්ණකුලසූරිය
ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයන්ට දේශපාලනඥයින් පමණක් වගකිව යුතු නොමැති බවය.

"ශ්‍රී ලංකාව දියුණු වෙන්නේ නැත්තේ දේශපාලකයින්ගේ වරදින් ම නෙවෙයි. මොන රටවලත් දේශපානඥයෝ හොරකම් කරනවා. ඒත් අපේ රටේ ජනතාව කම්මැලියි. ඉතාලිය වගේ රටවල හොඳින් ජීවත් වෙන්න අපි රස්සාවල් දෙක තුනක් කරනවා. සමහර අය හවස වැඩ ඇරිලා රෑට තවත් කොහේ හරි රස්සාව කරනවා. එහෙමයි අපි ආදයමක් උපයා ගන්නේ. ඒක රටේ දියුණුවට හේතු වෙනවා."

"මට හිතෙන විදිහට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රට දියුණු කරන්න අවංක සහ පැහැදිලි දර්ශනයක් තියෙන්න ඕන. එයා වෙනත් අයගේ අවශ්‍යතා මත හෝ ඊළග ඡන්දය බලාගෙන වැඩ කරන්න හොද නෑ," ඈන් වර්ණකුලසූරිය පැවසීය.

තුෂාර කුමාර (කුවේට්)
තුෂාර කුමාර කුරුණෑගල ප්‍රදේශයේ පෙදරේරුවෙකු ලෙස රැකියාව කර මේ වන විට කුවේට්හි රැකියාවක නිරත වන්නෙකි.

බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, පෙදරේරුවෙකු ලෙස තමන් ඉපයූ මුදලින් ශ්‍රී ලංකාව තුළ උසස් ජීවන තත්ත්වයක් ළගා කර ගැනීමට නොහැකි වූ හෙයින් විදෙස් රැකියාවකට පැමිණි බවය.

"මීළඟට පත්වෙන ජනාධිපතිවරයා උද්ධමනය අඩු කරන්න පියවර ගන්න ඕන. ඒ වගේ ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරන්න ඕන. අපේ දරුවන්ට ජාත්‍යන්තරයට යන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් ලබා දෙන්නත් ඔහු ක්‍රියා කරන්න ඕන," තුෂාර කුමාර පැවසීය.

රුවන් තිසේරා (ඉතාලිය)
ඉතාලියේ පදිංචි තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් තිසේරා ද මෙවර ජනාධිපතිවරණය පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

"මේ පාරත් ගොඩක් ඉන්නේ ඩීල් දාගත්ත පරණ අය මයි. ඔවුන්ට ඩීල්වලින් මිදෙන්න බැහැ. මම නම් හිතන්නේ අලුත් ම පුද්ගලයෙක් ජනාධිපති වුණොත් විතරයි රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ."

(BBC)