Monday, July 07, 2025
Follow Us
සෞඛ්‍ය උපදෙස් නොතැකූ පුද්ගලික බස් 341 ක් හසුවෙයි

ගතවූ සති කිහිපය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ පෞද්ගලික බස් රථ තුන්සිය හතළිස් එකක් බස්නාහිර, දකුණ, මධ්‍යම හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කළ පරීක්ෂා කිරීම් හා වැටලීම්වලින් හසුවී තිබේ.

මේ අතරින් බස් රථ 150 ක පමණ ප්‍රමාණයක මාර්ග බලපත්‍ර අත්හිටුවීමට ද පියවර ගෙන ඇති අතර ඒ අතරින් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ ධාවනය වූ බස් රථය.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් ද සහිතව නිකුත් කර ඇති ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවට අනුව මගීන් ප්‍රවාහනය ආසන ගණනට සිදුකිරීම, මුව ආවරණ පිළිපැදීම අනිවාර්ය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ බස් රථ 270 ක්, උතුරු මැද පළාතේ 16 ක්, දකුණු පළාතේ 42 ක් සහ මධ්‍යම පළාතේ 13 ක් ලෙස හසුව ඇතැයි එම පළාත්වල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල සභාපතිවරුන් සඳහන් කරති.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ගැන විශේෂ අවධානයක් යොමුකර ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළේය.

(Aruna)