Monday, July 07, 2025
Follow Us
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ගාල්ල හා කළුතරිනුත් හමුවෙයි

මෙරටින් හඳුනා ගත් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ගාල්ලෙන් සහ කළුතරින් ලබාගත් කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පලවල ද පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ලංකාවේ දැනට ව්‍යාප්තව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පැතිර ඇති B.1.1.7 වෛරස ප්‍රභේදය බව සෞඛ්‍ය අංශවලින් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

පැතිර යන කොවිඩ් ප්‍රභේදය පෙරට වඩා හානිකර බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවත්, එසේ නොවුණහොත් තත්ත්වය දරුණු විය හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

එමෙන්ම නව ප්‍රභේදය නිසා මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55% දක්වා ඉහළ ගොස් ඇති බවත්, නව ප්‍රභේදය පුද්ගලයින් අතර පැතිර යාම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙන බව අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

මෙම වෛරසය ඉතා භයානක එකක් බවත් ජනතාව මේ අවස්ථාවේදී ඉතා පරිස්සම්කාරී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)