Sunday, July 06, 2025
Follow Us
තරුණයින් වැඩි අවධානමට පත්වීම ගැන විශේෂ පරීක්ෂණ

රටතුළ පැතිර යන නව කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහලයමින් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මීට පෙර තත්ත්වයට වඩා රෝග ලක්ෂණ පෙන්නුම් කරන තරුණයින් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමේ සම්භාවිතාවද ඉහළ ගොස් ඇති බවයි.

රටතුළ පැතිර යන නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදු කරන, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අචාර්ය චන්දිම ජිවන්දරගෙන් නෙත් නිවුස් මේ පිළිබඳ විමසීමක් කළා.

නව ප්‍රභේදය මෙතරම් තරුණයින්ට බලපෑම් කරන්නේ මන්දැයි තවදුරටත් පුළුල් ලෙස අධ්‍යයනය කරන බවයි වෛද්‍ය අචාර්ය චන්දිම ජිවන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වෙමින් ඇති කොරෝනා මරණවලින් බහුතරය අවුරුදු 50ට අඩු පුද්ගලයින් බව පෙනී යනවා. ගතවූ පැය 24 ද කොරෝනා ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා වි තිබෙනවා. ඒ අතරින් දෙදෙනෙකුම 46 හැවිරිදි වියේ පසුවන්නන්.

එක් අයෙකු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ අතර අනෙක් පුද්ගලයා රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. ගතවූ පැය 24තුළ වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 04 අතරින් දෙදෙනෙකු විදේශීය ජාතිකයින් වනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 642ක්.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 04 අතරද අවුරුදු 40ට අඩු පුද්ගල මරණ 04ක් වාර්තා වුණා. ඉන් එක් අයෙකු අවුරුදු 18ක තරුණියක් වීම විශේෂත්වයක්.

(Neth)