Sunday, July 06, 2025
Follow Us
නව ප්‍රභේදයෙන් මිනිස් සිරුරට වන බලපෑම ඉහල යයි

මේවනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදුවන බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රෝග ලක්ෂණ මතුවීමටත් පෙර පෙනහළුවලට බලපෑම් වූ අවස්ථා ඉකුත් දින කිහිපයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් දක්නට ලැබුණු බවයි.

එහිදී ආසාදිතයෙකු රෝහලට පැමිණීම ප්‍රමාදවීමම, එම රෝගියාගේ ජීවිතය අනතුරේ හෙලීමක් විය හැකි බවටයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අගවන්නේ. ඒ අනුව මේවනවිට ව්‍යාප්ත වන වෛරසය ආසාදනය වන පුද්ගලයින්ට ඔක්සිජන් සැපයීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වනවා. මේවනවිට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය තරුණ පිරිසට ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ද පවතිනවා.

මීට පෙර අවස්ථාවේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනවා වැනි රෝග ලක්ෂණ පළමුව මතුවුණා. එහිදී ව්‍යාප්ත වූ වෛරසයේදී නියුමෝනියා තත්ත්වයක් ඇතිවුණේ මෙවැනි රෝග ලක්ෂණ පළමුව මතුවී අවසානයේදීයි.

මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සියයට 20 ක් පමණයි. ඔවුන් අතරින් දැඩි සත්කාර ඒකකවලට යොමු කර තිබුණේ සියයට 5 ක පමණ ප්‍රමාණයක්. ඒ අනුව ඔක්සජින් සැපයීමේ අවශ්‍යතාව පැවතුනේ අවම මට්ටමකයි. එහෙත් මේ වන විට තත්ත්වය ඊට වඩා වෙනස්.

මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සම්ප්‍රේෂණය වීම සිදුවුණා. එහෙත්, මේවනවිට ව්‍යාප්ත වන ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට පමණ සම්ප්‍රේෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. එය අවම තත්ත්වය වන අතර ඊට වඩා වැඩි පිරිසකට වුවද, වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකියි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවේ මේවනවිට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය වාතය තුළ පැය එකහමාරක් වැනි කාලයක් පැවැතිය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ මේවනවිට පැතිරෙන්නේ කුමන වෛරස් ප්‍රභේදය දැයි මේවනතෙක් අනාවරණ කර ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් මේවනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැනට සිදුකර ඇති අනුමානයන්ට අනුව නව ප්‍රභේදය බි්‍රතානයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන ප්‍රභේදයට සමානකමක් දක්වන බවටයි ප්‍රකාශ කෙරෙන්නේ.

(Neth)