Sunday, July 06, 2025
Follow Us
පොල්තෙල් ආනයනකරුවන් සහ රේගුව අතර සාකච්ඡාවක්

පොල්තෙල් ආනයනකරුවන් සහ රේගුව අතර අද (23දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා කීවේය.

ආනයනය කරන ලද පොල්තෙල් තොග මීට පෙරදී රේගු අධීක්ෂණය යටතේ අදාළ ආනයනික සමාගමේ ගබඩාවලම ගබඩා කෙරුණද, පිළිකාකාරක පොල්තෙල් තොග හමුවීමෙන් පසු ආනයනික පොල්තෙල් තොග රේගු ගබඩා තුළම රඳවා ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

රේගු ගබඩා තුළ භාණ්ඩ තැබීමේදී රඳවා ගැනීමේ ගාස්තුවක් අය කෙරෙන අතර, එමගින් වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යෑමක් සිදුවේවි ද යන කාරණා ද මෙහිදී සාකච්ඡා කෙරේ.

මෙම සාකච්ඡාව රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතය.

(Aruna)