Sunday, July 06, 2025
Follow Us
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොච්චිකඩේ පල්ලියේ

ප්‍රහාරයට දෙවසරක් සපිරීම නිමිත්තෙන් වන ප්‍රධාන සැමරුම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී අද(21) පෙරවරු 8.45ට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.

8.45ට එම සැමරුම සිදු කෙරෙන්නේ එම දේවස්ථානයට ප්‍රහාරය එල්ල වූයේ එම වෙලාවේ හෙයින් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීම සඳහා සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. ඉන් පසුව ඉටි පහන් දල්වා දිවි පිදුවන් සිහි කෙරේ.

මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයෙන් දිවි පිදුවන් භූමදානය කර ඇති කටුවාපිටිය සුසාන භූමියේ ඉදි කරන ලද කුඩා දෙව් මැදුර ද අද පෙරවරුවේ විවෘත කෙරේ.

ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් හා වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද සවස 4.00ට කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පෙරහරකින් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේ සිට කටුවාපිටිය දේවස්ථානය වෙත පිවිසේ. පසුව එම දේවස්ථානයේ දී කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ.

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වන විටත් කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දී හා මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී තුවාල ලැබූ 79 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

මේ අතරින් ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලැබිය යුතු පිරිස විසි දෙනෙක් පමණ වෙති. ප්‍රහාරයෙන් පසු මේ දක්වා පාසල් යාමට නොහැකිව ප්‍රතිකාර ලබන සිසුන් කිහිප දෙනෙක් ද සිටින බව සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා ‘අරුණ’ට ඊයේ (20 වැනිදා) පැවසීය.

(Aruna)