Friday, March 29, 2024
Follow Us
ගල්ගමුවේ වන අලි ගැටලුව උග්‍රයි

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෙම දිනවල වන අලි ප්‍රශ්නය උග්‍රව පැවතීම නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක ග්‍රාමීය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

ගල්ගමුව මැතිවරණ බල ප්‍රදේශයේ ඇහැටුවැව, අඹන්පොළ, ගල්ගමුව සහ ගිරිබාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද එයට අමතරව නිකවැරටිය, කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර, මහව, පොල්පිතිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද මෙම වන අලි බලවත්ව සිටිති.

2014 සිට 2019 දක්වා වසර හයක කාලය තුළ ගල්ගමුව වනජීවි කලාපය තුළ පමණක් වන අලි 42ක් මිය ගොස් තිබෙන අතර පුද්ගල මරණ 18ක් සිදු වී තිබේ. ගැමියන්ගේ භවභෝග විනාශයට අමතරව ගම්වලට කඩා වදින අලි මිනිසුන්ගේ ගෙවල් දොරවල්ද කඩා බිඳ දැමීම බලවත් ප්‍රශ්නයක් වී ඇත. 2014 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ ගල්ගමුව වනජිවි කලාපය තුළ ගෙවල් 260ක් වන අලින් විසින් කඩා බිඳ දමා තිබේ.

වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා ගම් වැසියන් මෙන්ම වන ජීවි නිලධාරීන්ද ගන්නා ප්‍රයත්නයන් සාර්ථක වී නැත. අලි වැට ඉදිකිරීමේ වැඩපිළිවෙළද සාර්ථකත්වයට පත් වී නොමැත.

ගල්ගමුව වනජීවි කලාපයේ පදිංචි ගැමියන් සඳහන් කරනුයේ අලින් බිය ගැන්වීම සඳහා ලබා දෙන අලි වෙඩිද ප්‍රමාණවත් නොවන බවත්ය. වනජීවි දෙපාර්තමේන්තුව මෙයට වඩා වැඩි සැලකිල්ලක් දක්වා වන අලි ගම්වලට කඩා වැදීම නතර කර ගැනීමට වහා ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය බවද ඔවුහු කියා සිටිති.

(Aruna)