Friday, April 19, 2024
Follow Us
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් සංස්ථාවට කෝටි 7ක් පොලු

චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම 23 වැනිදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත් රුපියල් හත්කෝටි දහතුන් ලක්ෂයක මුදලක් වසර ගණනාවක සිට මේ දක්වා අයකර නොගැනීම සහ සංස්ථාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම කර තිබේ.

1975 සිට 2014 වසර දක්වා කාලයේ චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් මෙලෙස ණය ලබාගෙන ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවට අදාළ 2019 විගණන වාර්තාවේ සඳහන් කර ඇත. ඒ පිළිබඳ කරණු විමසීමට කෝප් කමිටුව බලාපොරොත්තු වේ.

2019න් පසුවත් මේ දක්වා මෙම හිඟ ණය ශේෂය කිසිදු වෙනසක් නොමැතිව ඒ ආකාරයෙන්ම පවතින බව ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ‘අරුණට’ පැවැසුවේය.

චිත්‍රපට නිෂ්පාදනයට යැයි කියමින් ඇතැම් අධ්‍යක්ෂවරුන් රුපියල් දෙකෝටි පනස් එක් ලක්ෂයක තවත් ණය මුදලක් ලබාගෙන ඇතත් එම මුදලින් චිත්‍රපට නිපදවා නැති බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර සිටී.

ණය ලබා ගත් නිෂ්පාදකවරුන් කිහිප දෙනෙක් මේ වන විට මියගොස් ඇත. ඔවුන්ගෙන් ලැබිය යුතු ණය ශේෂය රුපියල් අසූ දෙලක්ෂයකි. මේ නිසා ඔවුන්ගේ ණය මුදල් අයකර ගැනීම අවිනිෂ්චිත තත්ත්වයක ඇතැයිද පවසන විගණකාධිපතිවරයා නිෂ්පාදකවරුන් ලබා ගෙන ඇති මෙම ණය මුදල්වල කාලය වසර දහයකට අධික බැවින් ඒවා අයකර ගැනීමේ නීතිමය හැකියාවද හීනවී ඇති බව සඳහන් කර සිටී.

විගණකාධිපතිවරයාගේ මතය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික චිත්‍රපට සංස්ථාවේ කළමනාකාරිත්වය ප්‍රකාශ කරන්නේ මෙම ණය අයකර ගැනීම සඳහා පත් කරන ලද කමිටුව මේවන විට අක්‍රිය බවය. කෙසේ වෙතත් අයකර ගැනීමට නොහැකි ණය මුදල් සම්බන්ධයෙන් විශ්ලේෂණය කර වාර්තාවක් සකස් කරමින් සිටින බවද කළමනාකාරිත්වය සඳහන් කරයි.

විගණකාධිපතිවරයා කළමනාකාරීත්වයට උපදෙස් දී ඇත්තේ ණය අයකර ගැනීමේ කමිටුව සක්‍රීය කර ණය විශ්ලේෂණ වාර්තාවක් සකසා හිඟ මුදල් අයකර ගත යුතුව ඇති බවය.

(Aruna)