Saturday, July 05, 2025
Follow Us
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පෙත්සම් මේ මස 19 වෙනිදා පෙරවරු 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේ දී සලකා බැලීමට නියමිතව ඇත.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , විනිසුරු බුවනෙක අලුවිහාරෙ , විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ මස 19 වෙනි දා දින කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා මේ වන විට එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් කිහිපයක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර , එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග කළ ඕෂල හේරත්, වෛද්‍ය අජන්තා පෙරේරා , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි ලේකම් නීතිඥ රජිව් අමරසූරිය, ඉන්ජිනේරු කපිල රේණුක පෙරේරා ඇතුළු පිරිසක් අද දින මෙම පෙත්සම් ගොනු කරන ලදී.

මෙම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෙම පනත් කෙටුම්පතෙහි 6(1) වගන්තිය අනූව වරාය නගරය තුළ සිදුවන ආයෝජන , ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය වරාය නගර ආර්ථික කොමිසම වෙත පමණක් පැවරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික සුරක්ෂිතතාවයට බරපතළ තර්ජනයක් බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මගින් එහි සේවය කරන සේවකයින්ට වීසා නිකුත් කිරීම ඇතුළු අනුමත කිරීම් සිදු කිරීමට මෙම ආර්ථික කොමිසම වෙත බලය හිමි වීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පෙත්සම්කරුවන් තවදුරටත් පවසා සිටියි.

මෙම පනත් කෙටුම්පත පසුගිය මාර්තු මස 23 දා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් එය පසුගිය අප්‍රේල් මස 8 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කරුවන් පවසා සිටියි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභා වල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටියි .

(Neth)