Saturday, February 07, 2026
Follow Us
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමග පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ යන මහත්ම මහත්මිහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Aruna)