Monday, July 07, 2025
Follow Us
‘තෙල් කලවම තහනම් කිරීම තව කල් යයි’

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව පැවැසේ. සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ (4 වැනිදා) මෙය අනාවරණය කළේය. ඊට හේතුව එක් ආනයනකරුවෙක් මෙරටට රැගෙන ආ තෙල් නැවක් අලෙවි කිරීම කරන තුරු බලා සිටීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.

‘‘මේ තීරණය ගත්තේ මීට මාස හතකට විතර කලින්. නමුත් අද වෙනකම් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇයි මේ තීරණය ක්‍රියාත්මක නොකරන්නේ? පහුගිය සතියක කාලය ඇතුළත එක් ආනයනකරුවෙක් තෙල් නැවක් ගෙනාවා. ඔය නැවේ තෙල් ටික විකුණලා ඉවර වෙනකම් මේ ගැසට් පත්‍රිකාව අල්ලාගෙන ඉන්නවා මේක ක්‍රියාත්මක කරන්නේ නැතුව.’’

මේ සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී ඇමැතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

‘‘පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමාට මම උපදෙස් දුන්නා පිරිපහදු කරන ලද තෙල් පමණක් ආනයනය කරන්න. ඒ අනුව ඊට අදාළ කෙටුම්පතත් ඉදිරිපත් කළා. ගැසට් නිවේදනයට පෙර අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. අවලංගු කිරීම නියත වශයෙන්ම සිදුවෙයි.’’

(Aruna)