Tuesday, July 08, 2025
Follow Us
විස පොල්තෙල් ඇත්දැයි සොයා රට පුරා හදිසි පරීක්ෂාවක්

වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා පොල්තෙල් සාම්පල ලබාගැනීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ මෙරටට ආනයනය කර ඇති බවට හදුනාගත් පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බවයි. එහෙත් මහජනතාව තුළ පවතින සැක දුරු කිරීම සදහා පොල්තෙල් සාම්පල පරීක්‍ෂණ සදහා යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ දසිත නිරෝෂණ පැවසුවේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වෙළදපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල සිය ආයතනය වෙත යොමු කර ඇති බවයි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් පරිභෝජනයට මහජනතාව බිය විය යුතු නොමැති බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර පවතින තත්ත්වය යටතේ පොල් තෙල්වල ප්‍රමිතය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා තම ආයතනය සූදානම් බව කාර්මික තාක්ෂණ ආයතනයද පවසනවා. කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ තහවුරු කළේ විස රසායන අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පොල්තෙල් වෙළදපොලට නිකුත් වී නොමැති බවයි.

ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් මතුව ඇරත්තේ මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිළකා කාරක වැඩි වශයෙන් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ශ්‍රී ලංකා රේගුවට දැනුම් දීමත් සමගයි. ඒ අනුව මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනකරුවන් පැවසුවේ එම පොල්තෙල් වෙළදපොළට මුදා හැර ඇති බවයි. එම පොල්තෙල් බහලුම් වෙනත් රටකට ප්‍රති අපනයනය නොකර, තවත් මිනිස් ජීවිත අවධානමේ නොතකා ඒවා මෙරටදීම විනාශ කළ යුතු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

(Neth)