Tuesday, July 08, 2025
Follow Us
කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයක වකුගඩු ජාවාරමක්

සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් යොදාගෙන කරන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් හා පරිත්‍යාග කිරීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) දන්වා සිටියේය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණය කරන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්. සලම් ද සිල්වා, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත ඊයේ (24 වැනිදා) දැනුම් දුන්නේය.

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයකදී අදාළ නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් කර ඇති බවට අනාවරණය වී තිබෙන බවත්, එවැනි වකුගඩු බද්ධ කරන ලද පුද්ගලයන් සොයා විමර්ශන පවත්වන බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ පෞද්ගලික රෝහල් තුළදී දීර්ඝ කාලයක සිට මෙලෙස නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් කර තිබෙන බව පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් වකුගඩු බද්ධ කිරීම්වලට භාජනය කිරීමේදී රෝගී වූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසිය අධිකරණය මගින් නියෝග කිහිපයක්ද ලබාගෙන තිබේ.

(Aruna)