Wednesday, July 09, 2025
Follow Us
අවුරුද්දෙන් පස්සේ විදුලි අර්බුදයක් ඇතිවෙයිද?

අලුත්වැඩියා කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අංක 2 දරන ඒකකය අප්‍රේල් 10 වැනිදා සිට දින 21 ක් වසා දැමීමට තීරණය කර ඇත.

“අප්‍රේල් උත්සව සමයේ ආයතනන බොහෝමයක් වසා තැබෙන නිසා විදුලිය භාවිතයේ අඩුවක් සිදුවන බැවින් එම දිනවල බලාගාරයේ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට තීරණය කරන්නට ඇතැයි ලංවිම වෘත්තිය සමිති එකමුතුවේ ප්‍රධාන ලෙකම් ඒ.ජී.යූ. නිශාන්ත ‘සති අග අරුණට’ ප්‍රකාශ කළේය.”

සිදු කෙරෙන අලුත් වැඩියාව අනුව බලාගාරය වසා දැමෙන කාලය දින විසි එකකට වඩා වැඩිවිය හැකි බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් පසුගියදා නිකුත් කළ කෝප් කමිටු වාර්තාවේ සඳහන් වන්නේ ලක්විජය බලාගාරයේ අංක 2 ඒකකය අලුත් වැඩියාව සඳහා දින 75 කට වඩා වැඩි කාල සීමාවක් වසා තැබිය යුතු බවට බලධාරීන් පෙන්වා දී ඇති බවය.

බලාගාරය වැසීම නිසා එම කාලය තුළ මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියට එක් වීම සිදු නොවන බැවින් විදුලි සැපයුමේ යම් අර්බුදයක් ඇතිවිය හැකි බවද හෙතෙම පැවැසුවේය.

කැළණි තිස්ස බලාගාරයේ කොටස් දෙකක් අක්‍රීයව පැවතීම නිසා මේ වන විටත් මෙගාවොට් 280 ක් අහිමිව ඇතැයි කී හෙතෙම ලක්විජය බලාගාරයේ අලුත්වැඩියාව නිසා අහිමිවන ධාරිතාවය පිරිමසා ගැනීමට විකල්පයක් නැතැයිද පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ මේ වන විට ජලාශවල ජල මට්ටම යහපත් තත්ත්වයක පවතින බැවින් කිසිම අවස්ථාවක විදුලි කප්පාදුවකට නොයන බවයි. නිරිතදිග මෝසම ප්‍රමාද වුවහොත්, ගැටලුවක් පවතින බැවින් පමණක් විදුලි කප්පාදුවකට යාමට සිදුවවුවහොත් සිදු කිරීමට ඇති නොරොච්චෝලේ නඩත්තු කටයුතු ප්‍රමාද කිරීමට කටයුතු කරන බවයි.

(Aruna)