Wednesday, July 09, 2025
Follow Us
පෙරගෙවුම් කාඩ්පතට පෞද්ගලික බස් සංගමයෙන් කොන්දේසි

පොදු ප්‍රවාහන බස් සේවා වෙනුවෙන් විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් සඳහා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් රජයට කොන්දේසි පහක් ඉදිරිපත් කර තිබේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති මිල අදාළ ගිවිසුම අධ්‍ය්‍යනය කරමින් සිටින බවත් සිය කොන්දේසිවලට එකඟත්වය පළ කරන්නේ නම් පමණක් ඊට අනුමැතිය පළ කරන බවත් එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘අරුණ’ට කීය.

මේ වනවිට පෞද්ගලික බස් හිමියන්ගෙන් අය කරනු ලබන බදුවලට අමතරව කිසිදු බද්දක් අය නොකිරීම, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කියමින් මීට වසර කිහිපයකට පෙරාතුව ලබාගැනීමට සැලසූ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතයට ගැනීමට ඉඩකඩ ලබාදීම, හඳුන්වාදීමට යන නව ක්‍රමවේදයට අනුව කොන්දොස්තර මහතාගේ සේවයට පීඩාවක් ඇති නොකිරීම (රියැදුරු අසුන අසල විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍රය සකස් නොකර කොන්දොස්තර මහතා අතට එය ලබාදීම) ශ්‍රීලංගම හා පෞද්ගලික බස් රථ පොදු කාලසටහනකට අනුව ධාවනය කිරීම, මෙම ව්‍යාපෘතිය එක්තරා නම් කරන ලද මාර්ගයකට පමණක් සීමා නොකොට සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම එම කොන්දේසි පහ වේ.

මීට අමතරව කොවිඩ් වසංගත තත්ත්වය මැද පීඩාවට පත්වූ පෞද්ගලික බස් හිමියන් සඳහා ලීසිං වාරික ගෙවීම හා විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අනුමත කර ඇති ලක්ෂ තුනහමාරක ණය මුදල නිසි පරිදි ලබාගත හැකි ක්‍රමවේදයක් ප්‍රවාහන අමාත්‍යාංශ​ය හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හෝ සකස් කර නැතැයිද කී සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා ඉල්ලීම් හා කොන්දේසිවලට පටහැනිව කිසිවක් කිරීමට ඉඩකඩ ලබා නොදෙන බවද කීවේය.

(Aruna)