අන් කවරදාටත් වඩා ලොව පුරා නිවුන් දරුවන් බිහි වීමේ ප්‍රවණතාව ඉහල ගොස් ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. එමගින් අනාවරණය කර ඇත්තේ මේ වන විට ලෝකය උපරිම නිවුන් දරුවන් කරා පැමිණ ඇති බවයි. ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබනවා. සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් ලෙස උපත ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඉන් බහුතරය, එනම් සියයට 80ක්ම වාර්තා වන්නේ අප්‍රිකාව සහ ආසියාවෙන් වනවා.
1980 දශකයේ සිට නිවුන් දරු උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක ප්‍රකට සඟරාවක් විසින් රටවල් 165ක ගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් සිදු කල මෙම අධ්‍යනය මගින් හෙලි කර ඇත්තේ. වසර 30 කට වැඩි කාලයක් පුරා සෑම කලාපයකම නිවුන් දරු උපත් අනුපාතය ඉහළ යාම හේතුවෙන් මේ වන විට ලෝකය නිවුන් දරුවන්ගේ උපරිමයට ලගා වී ඇති බවද එහි සඳහන්.
ආසියාවේ සියයට 32 කින් ද උතුරු ඇමරිකාවේ සියයට 71 කින් ද නිවුන් දරු උපත් අනුපාතය දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මේ වන විට යුරෝපයේ ද එය ඉහළ මට්ටමක පවතින බවයි මෙම අධ්‍යයනය මගින් හෙලි වී ඇත්තේ.
(Neth)