පාස්කු ප්‍රහාරයට කඩිනමින් සාධාරණයක් ඉල්ලා අද දිනයේද කළු ඉරිදා විරෝධතාවය යටතේ සියලු දේවස්ථානවල දේව මෙහෙයන් සිදු කරන බව අගරදගුරු පදවිය පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීමට ඕනෑ තරම් කාලයක් තිබූ බවයි.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති රදගුරු හිමියන් වැඩිදුරටත් කියා සිටියේ විරෝධාතාවලින් ඈත් වී ආගමික වතාවත්වලට පමණක් මුල් තැන දෙමින් අඛණ්ඩව මෙලෙස සිය විරෝධතාව පළ කරන බවයි.
අගරදගුරු පදවියේ තීරණයකට අනුව Black Sunday හෙවත් කළු ඉරිදා දැවැන්ත විරෝධතාවක් ඉකුත් ඉරිදා පැවැත්වුණා. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින්. ඒ අනුව දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වුණා.
දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයකද ඔවුන් නිරත වුණා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ සාධාරණයක් ඉෂ්ඨවන තුරු තම විරෝධතාව නතර නොකරන බවයි.
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව ඉකුත් දා ජනාධිපතිවරයාට භාරදුන්නා. හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනුකිරීම ඇතුළු තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත්. සංවේදි කරුණුද ඇතුළත් වෙළුම් සමග සියලු වාර්තා මේ වන විට නීතිපතිවරයා වෙත ලබා දීමටද කටයුතු කර අවසන්.
ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ කැබිනට් අනු කමිටුවද මේ වන විට සිය නිර්දේශ සැකසීමේ කටයුතු අවසන් අදියරට රැගෙනවිත් තිබෙනවා. එහි සමාජිකයෙකු පැවසුවේ මේ වන විට නිර්දේශ සැකසීම සියයට 80කින් පමණ අවසන් කර ඇති බවයි. එම නිර්දේශ හෙට දිනයේ ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබුණද අවසන් නිර්දේශ වාර්තාව ලබා දීමට තවදුරටත් කල් යනු ඇති බවටයි කැබිනට් අනු කමිටුවේ සාමාජිකයින් ප්‍රකාශ කළේ.
(Neth)