Thursday, July 10, 2025
Follow Us
පිලිස්සී මියගිය ව්‍යාපාරිකයා ගෙදරින් ආවේ ඉන්ධන ගන්න

කොහුවල ආසිරි මාවතේ මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටියදී පෙරේදා (10 වැනිදා) රාත්‍රියේ සොයාගත් මෘත දේහය කොහුවල ව්‍යාපාරිකයකුගේ බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි ​මොහොමඩ් ෆෂීර් නම් තිස් එක් හැවිරිදි අයෙකි. හෙතෙම නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිය යතුරුපැදියට ඉන්ධන නොමැති බව පවසමින් ඉන්ධන ලබාගැනීමට භාජනයක් ද වාහනයට දමාගෙන මෙම පුද්ගලයා පෙරේදා (10 වැනිදා) රාත්‍රියේ නිවසින් බැහැරට ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එක්වරම ඔහු ගමන් ගන්නා වාහනය රාත්‍රී 11.30ට පමණ ගිනි ගන්නා බවට ලද තොරතුරු මත කොහුවල පොලිසිය දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න නිවා තිබේ.

මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාද විමර්ශනයක් අරඹා තිබිණි.

මරණයට හේතුව සොයා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹා ඇත. ගින්න සිදුවූ ආකාරය හා මරණයට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ මතය ලබා ගැනීමෙන් පසුව නිශ්චය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මරණය පිළිබඳ සැකයක් නොමැති බව පවුලේ සාමාජිකයන් පොලිසියට පවසා ඇත.

(Aruna)