Saturday, July 12, 2025
Follow Us
දඟ පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන්ට අසරණ කරයි : දෙවන T20 තරගයේ ජය ශ්‍රී ලංකා පිලට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 160ක් රැස් කළා.

ශ්‍රී ලංකා පිළ අද තරගයට පිවිසියේ පළමු තරගයේ පිතිකරණ ලැයිස්තුවට යම් වෙනසක් එක් කරමින්. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංඛ ආරම්භක පිතිකරුවන් ලෙස අද පිටියට පිවිසියා. එහි සාර්ථක ප්‍රථිපල පෙන්වමින් පන්දුවාර 10ක් තුළ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 95ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩ නැගුවා. පැතුම් නිශ්ශංඛ පන්දු 23කදී ලකුණු 37 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 42කදී ලකුණු 56ක් රැස් කළා.

අශේන් බණ්ඩාර ලකුණු 21යි. වනිදු හසරංග පන්දු 11කදී නොදවි ලකුණු 19ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 3කටත්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 13කටත් දැවි ගිය අතර තිසර පෙරේරා අද රැස් කළේ ලකුණු 02ක් පමණයි.

ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුල සිට දැඩි අභියෝගයක් එල්ල කළා. ඒ අනුව කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 06 ලකුණු 66ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

දක්ෂ පන්දු යැවීමක නිතරවූ වනිදු හසරංග නියමිත පන්දුවාර 04දී ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තා. අකිල ධනංජය නියමිත පන්දුවාර 04දී ලකුණු 13කට එක් කඩුල්ලක්ද දුෂ්මන්ත චමීර ලකුණු 26කට කඩුලු 02ක්ද බිද හෙලුවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 18.4ක් තුල සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 117ක් පමණයි. තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කරනු ලැබුවා.

(Neth)