Saturday, July 12, 2025
Follow Us
පාසල් ටැබ් 96,000 බෙදන්න රු.කෝටියක් ඉල්ලලා

රුපියල් කෝටි තිස් නවයක් වැය කර මිල දී ගෙන ඇති ටැබ් පරිගණක අදාළ පාසල්වලටම බෙදා හැරීමට කලින් ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ පාසල්වලට මෙම ටැබ් බෙදාහැරීම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිබීම ය.

ටැබ් පරිගණක අනූ හය දහසක් මිලට ගෙන තිබෙන අතර පාසල් 1401කට ඒවා බෙදා හැරීමට සැලසුම් කර තිබිණි. එහෙත් පවතින මූල්‍ය අපහසුතා මත අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් ගබඩාවට කැඳවා පරිගණක ලබාදීමටය. කලාප නිලධාරීන් විදුහල්පතිවරුන් වෙත ඒවා බෙදා හැරිය යුතු වෙයි.

ටැබ් පරිගණක මිලදී ගත් පෞද්ගලික සමාගම ඒවා බෙදාහැරීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් අවශ්‍ය බව දන්වා තිබිණි.

මෙම පරිගණකවල වගකීම් කාලය තුන් වසරක් පමණක් වන අතර ඒවා මිල දී ගෙන මේ වන විට මාස තුනක පමණ කාලයක් ගත වී අවසන් ය. සියලුම පරිගණක තවමත් ගබඩාවේ පවතියි. කලාප කාර්යාල නිලධාරීන් පැමිණ පරිගණක රැගෙන ගොස් විදුහල්පතිවරුන් වෙත බෙදා හැරීම සඳහා තවත් සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම පරිගණක සිසුන්ට නිවෙස්වලට රැගෙන යා නොහැකි වන අතර ඒවා ආරෝපණය කරන උපකරණ පාසල් වෙත ලබා දී මාස හයකටත් අධික කාලයක් ගත වී තිබේ.

(Aruna)