වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට ඉකුත්දා තීරණය කෙරුණද මේ දක්වා එම වැටුප ලබානොදෙන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙළි වුණා. ඉකුත් පෙබරවාරි 8 වනදා පැවති තීරණාත්මක සාකච්ඡුාවේදී එකඟතාවය පළ වුණේ වතු කම්කරුවෙකුට මූලික දෛනික වැටුප රුපියල් 900 ක් ද අයවැය මගින් පිරිනැමුණු රුපියල් සියයක ප‍්‍රසාද දීමනාවද සමග රුපියල් දහසක වැටුපක් ලබාදීමටයි.
වතු කම්කරුවන්ගේ වැටුප් තීරණය කරන පඩි පාලක සභාවේදී ගත් මෙම තීරණය මේ දක්වා කි‍්‍රයාත්මක නොවීම වතු කම්කරුවන් දෛනිකව රුපියල් දහසක වැටුපක් ඉල්ලා දිගින් දිගටම සිදුකරන අරගලය තවදුරටත් පසුපසට ගෙනයාමක්. එබැවින් අවසන් තීරණයක් ගෙන තිබියදීත් වතු කම්කරුවන්ට මූලික දෛනික වැටුප රුපියල් දහසක් දක්වා තවමත් වැඩිකර නැත්තේ මන්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා.
එහිදී අදහස් දැක්වූ කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ වතු කම්කරු දෛනිකව වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධතා එල්ල වී ඇති බවයි. නෛතික රාමුව යටතේ විරෝධතා කැඳවීමක් සිදුකළ යුතු බවත් මේ වනවිට විරෝධතා 180කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට තීරණය කෙරුණු පඩි පාලක සභා රැස්වීම පැවැත්වුණේ ඉකුත් පෙබරවාරි 8 වනදායි. එතැන් සිට අද දිනය දක්වා මාසයකට ආසන්න කාලයක් ගතවී යන තෙක් මෙම විරෝධතාවලට උත්තර බැදීමට නොහැකිවූයේ මන්දැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
වතු කම්කරුවන් සිය දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අරගලයක නිරත වන්නේ දීර්ඝ කාලයක සිටයි. ඒ අනුව ඉකුත් ජනවාරි මාසයේ සිට වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට ඉකුත් අයවැයෙන් යෝජනා කෙරුණා. එහෙත් පෙබරවාරි මාසය වනතෙක් එම ඉල්ලීම ඉටු නොවීම හේතුවෙන් වතු කම්කරුවන්ට ඉකුත් පෙබරවාරි 5 වනදා සිදුවූයේ වැඩවර්ජනයක ද නිරතවීමටයි.
(Neth)