Saturday, July 12, 2025
Follow Us
රැකියාවෙන් ඉවත් කළොත් ලක්ෂ 25ක වන්දියක්

හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීම පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මකය.

මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පසුගිය 19 වැනිදා නිකුත්කර තිබේ. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන් සහ අර්ධ රාජ්‍ය අංශයට අයත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට මෙම වන්දි හිමිකම ගැසට් නිවේදනය නිකුත් කළදා සිට ලැබේ.

කොවිඩ් වසංගතය නිසාද පසුගිය කාලයේ හාම්පුතුන් විසින් බොහෝ දෙනකුගේ සේවය අවසන් කර ඇත. එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ සේවකයන්ටද මෙම ගැසට් නිවේදනය අනුව ඉහත වන්දිය ලබාගැනීමට හැකිවනු ඇතැයි කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති ‘අරුණ’ ට පැවැසුවේය.

සේවය අවසන් කරන අය සඳහා මින් පෙර හාම්පුතුන් විසින් ගෙවිය යුතු වන්දි මුදල වූයේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසකි. එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2005 වසරේදීය. වන්දි මුදල රුපියල් පක්ෂ විසිපහක් විය යුතු බවට නව නීතියක් ගෙන එන්නේ අවුරුදු පහළොවකට පසුව බව කම්කරු කොමසාරිස්වරයා කීවේය.

(Aruna)