Friday, April 26, 2024
Follow Us
කැලණි ගඟට වැසිකිළි බට 5000ක්

කැලණි, මහවැලි හා කළු යන ගංගා දැඩි ලෙස දූෂණයකට ලක්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදී සොයා ගෙන ඇත.

මේ අනුව වැඩියෙන්ම දූෂණයට ලක්ව ඇති කැලණි ගඟේ දෙපස පිහිටි නිවාස පන්දහසක පමණ වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන නළ මාර්ග සෘජුවම ගඟට යොමු කර ඇති බව පසුගියදා එම ගඟේ අවිස්සාවේල්ලේ සිට මෝදර දක්වා සිදු කළ ගවේෂණයකදී තහවුරු කරගෙන ඇත.

මේ අතර පරිසර යුක්ති කේන්ද්‍රය සිදු කළ ගවේෂණයකදී හෙළි වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් ඉවත් කරන වැසිකිළි අපද්‍රව්‍යවලින් සියයට 98ක් කැලණි ගඟට හා පහත් බිම්වලට යොමු කරන බව එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසීය.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය කළ ගවේෂණයේ දී හෙළි කරගෙන ඇත්තේ කැලණි ගඟ දෙපස සුළු හා මධ්‍යම පරිමාණ සේම මහාපරිමාණ කර්මාන්ත ශාලා දහසක් පමණ පිහිටා ඇති අතර ඉන් මුදාහරින රසායනික අපද්‍රව්‍ය ද කළමනාකරණයකින් තොරව ගඟට මුදාහැර ඇති බවයි.

සීතාවක කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලා 19න් වැඩි ප්‍රමාණයක් පිරිපහදුවෙන් තොරව අපද්‍රව්‍ය කැලණි ගඟට මුදාහැරීමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය මගින් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසීය.

ඒ අනුව මෙරට පිහිටි ගංගාවලින් 103ක් දූෂණ වන ප්‍රධාන ස්ථාන දසදාස් හාරසිය දහයක් හඳුනාගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

(Aruna)