Thursday, April 25, 2024
Follow Us
තැපැල් ගාස්තු ඉහළ දැමීමට යෝජනා

තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දෙපාර්තමේන්තුවේ අලාභය අවම කර ගැනීමත් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ගැනීමත් මෙම තීරණය ගැනීමට හේතු වී ඇත. සාමාන්‍ය ලිපියක් සඳහා මුද්දර ගාස්තුව රුපියල් පහළොවක් වන නමුත් ඒ සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් විසි දෙකයි ශත හැත්තෑ පහක් වැය වන බවත් ශීඝ්‍රගාමී තැපැල් සේවාව සඳහා දෙපාර්තමේන්තුව රුපියල් පනහක් වැනි අඩු මුදලක් අය කළ ද පෞද්ගලික අංශය ඒ සඳහා රුපියල් දෙසිය පනහක් පමණ අය කරන බවත් මේ පිළිබඳව අප කළ විමසුකමට පිළිතුරු දුන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.

තැපැල් සේවාවේ අනෙකුත් ගාස්තු ද ඉතාම අවම මට්ටමක පවතින බවත් මෙම තත්ත්වය මත දෙපාර්තමේන්තුව දිගින් දිගට ම අලාභ ලබමින් තිබීම නොවැළැක්විය හැකි බවත් එම නිලධාරියා කීවේය.

ගාස්තු සංශෝධනය සඳහා ලබන මාසයේ දී නව යෝජනා අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බවත් තැපැල් සේවාවේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන එම යෝජනා පිළිගැනීම නොගැනීම අමාත්‍යාංශයේ කාර්යයක් යැයි ද හෙතෙම පැවසීය. නව යෝජනා මාර්තු මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

(Aruna)