Saturday, April 20, 2024
Follow Us
සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඊයේ (24 වැනිදා) ​තේරී පත්විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය ඊයේ පැවැති අතර එහිදී සභාපතිධුරය සඳහා තරග වැදුණු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඡන්ද 5162ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසාට ලබාගත හැකි වූයේ ඡන්ද 2807ක් පමණි. ඒ අනුව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබේ.ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021/ 2022 වසර සඳහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙවර පැවැති නිලවරණයේ ප්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් කටයුතු කළේය.

කොළඹින් පිටත ඡන්ද මධ්‍යස්ථාන 82ක් පැවැති අතර එහි තේරීම් භාර නිලධාරීන් ලෙස අදාළ පළාත්වල දිසා විනිසුරුවරු කටයුතු කළහ. නීතිපති සංගම් නිලවරණය ඊයේ පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැතුණි. කොළඹ ඡන්ද මධ්‍යස්ථානය වශයෙන්, දිසා අධිකරණ පරිශ්‍රයේ ස්ථාන 3ක් ස්ථාපිත කර තිබුණි.ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරය සඳහා කිසිවකු නාම යෝජනා ඉදිරිපත් නොකිරීම නිසා දැනට ලේකම් තනතුරේ කටයුතු කරන නීතිඥ රජීව් අමරසූරිය ඉදිරි වසර සඳහා ද ලේකම්වරයා ලෙස නිතරගයෙන් තේරී පත්විය.

1991 වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත් වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 1992 නොවැම්බර් 19 වැනිදා නීතිඥ වෘත්තීයට ඇතුළත් වී තිබුණි. රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ජනාධීපති නීතිඥ සාලිය පීරිස් එහි වසර 4ක් සේවය කර, ඉන් අනතුරුව ​මේ දක්වා පුද්ගලික නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටියි.

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ආදි සිසුවකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියත්, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අන්තර් ජාතික ව්‍යාපාර නීතිය පිළිබඳ නීතිපති උපාදියත් ලබාගෙන තිබේ.ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධුරයේ ද අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

ඒ මහතා 2015/2016 සහ 2016/2017 යන වසරවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ධුරයේද කටයුතු කර තිබේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ​ඩේලි නිව්ස් පුවත් පතේ හිටපු කතුවරයකු වූ හැරිස් පීරිස්ගේ පුත්‍රයෙක්ද වෙයි.

(Aruna)