Sunday, September 21, 2025
Follow Us
අප රටේ ද්වි භාෂා ප්‍රතිපත්තිය නිසි ලෙස ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කළ යුතුයි

අද පෙබරවාරි 21 අන්තර්ජාතික මව් භාෂා දිනය නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභා හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ද්වි භාෂා ප්‍රතිපත්තිය රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා සිංහළ දෙමළ භේදයකින් තොරව දෙපැත්තේම ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් තම මුහුණු පොතේ සටහන් කර තිබූ මෙම සඳහන වගකිවයුත්තන්ගේ අවධානයට යොමුවිය යුත්තේ සරළව විසඳිය හැකි මෙම ගැටළුවට නිසි පිළියම් යෙදීමට බළධාරීන් සහ නිළධාරීන් උනන්දු නොවීම නිසා අදට ද මෙම ගැටළුවෙන් දෙපැත්තේම ජනතාව පීඩා විඳින බැවිනුත් මෙම පීඩාව ඔඩු දිවීමට හැර බළා සිටියහොත් නැවතත් අනාගතයේ දිනක මෙය පිළිකාවක් ලෙස වර්ධනය විය හැකි බැවිනුත්ය.

අද පෙබරවාරි 21 අන්තර්ජාතික මව් භාෂා දිනයයි.
මව් භාෂා දිනය ලෙස පෙබරවාරි 21 සැලකීමට හේතුවූයේ වර්තමාන බංග්ලාදේශයේ ( එවකට නැගෙනහිර පකිස්තානයේ ) භාවිතවූ බංග්ලා භාෂාව වෙනුවට, රාජ්‍ය භාෂාව ලෙස බටහිර පකිස්තානයේ භාෂාව වූ උර්දු භාෂාව යොදාගැනීමට පකිස්තානය 1953දී ගත් තීරණයට එරෙහිව ඩකාහි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ප්‍රමුඛ ජනතාව කළ අරගලයේදී ඝාතනයවූ අය සමරනුවස් බංග්ලා වැසියන් පවත්වා ගෙන ආ වැඩපිළිවෙළයි. 1956 දී පකිස්තානය ඔවුන්ගේ නියමය අකුලා ගත්තා.

මෙම දිනය දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අන්තර්ජාතික මව් භාෂා දිනය ලෙස නම් කර තිබෙනවා.
සෑම මනුෂ්‍යයකුම ස්වකීය මව් බසට ආදරය කරන බව නොරහසකි. එනිසා අපි අපේ මව් බසට ආදරය කරමු. එමෙන්ම අන් අයටද ඔවුන්ගෙන් මව් බසට ආදරය කිරීමට හා භාවිතා කිරීමට ඇති අයිතිවාසිකම පිලිගනිමු.
1956 දී එකම රාජ්‍ය භාෂාව ලෙස සිංහළ පමණක් යොදාගැනීමට කළ නියමය දැන් වෙනස් වී තිබේ. එනමුදු තවමත් බස්නාහිර හා සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල දෙමළ මව්බසවූ පුරවැසියනට බොහෝවිට සිංහළ පමනක් යන්නට මුහුණපෑමට සිදුවන අතර මඩකලපුවේ කෙවිලියාමඩු හා යාපනයේ නාවක්කුලි වැනි ප්‍රදේශවල සිංහළ මව්බස වූ පුරවැසියනට දෙමළෙන් රාජකාරි ලිපි ලැබීමේ ගැටලු පවතී . මේ තත්ත්වය කඩිනමින් විසඳෙනු ඇතයි පතමි. එසේ වුවත් සමහර රාජ්‍ය ආයතන පවා ද්විභාෂා ප්‍රතිපත්තිය අනුගමනය නොකිරීම කණගාටුවට කරුණකි.

(Lanka Leads)