ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් විසිහත්දහස් දහ අටදෙනකුට, ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දාහත්දහස් හයසිය විසි දෙදෙනකුට සහ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් එකොළොස්දහස් හත්සිය දහදෙනකුට එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය 15 වැනිදා සිට මහජනතාවට එන්නත් ලබාදීම ආරම්භ කළේය.
ඒ අනුව පළමුවෙන්ම කොළඹ මහනගර සභා සේවකයන්ට එන්නත ලබා දුන්නේය. කොළඹ මහනගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවකයින් 552කට එන්නත ලබාදී අවසන් බවයි. එසේම වනාතමුල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පුද්ගලයන් 2177 කට පෙරේදා (17 වැනිදා) වනවිට එන්නත ලබාදී තිබුණි.
තවද ඊයේ (18 වැනිදා) නීතිපති දෙපාර්තමේන්තුවේ 850 දෙනකුට එන්නත ලබාදීමට කටයුතු කළ බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සඳහන් කළේය.
එසේම අද දින (19 වැනිදා) මැද කොළඹ බොරුල්ල සහ බටහිර කොළඹ යන ප්‍රදේශවල ජනතාවට එන්නත් ඉතිරිවන ප්‍රමාණය අනුව ලබාදීමට නියමිතය.
වයස් කාණ්ඩ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සියලුදෙනාට එන්නත ලබාදීමට එන්නත් මිලියනයක් පමණ අවශ්‍ය බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි වැඩිදුරටත් සඳහන් කළේය.
(Aruna)