Sunday, September 21, 2025
Follow Us
ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට සහනයක්

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අද (16) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව පෙත්සම්කරු සඳහන් කර තිබිණි.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කර ඇත.

එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බව නාමල් ප්‍රසංග විසින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

(Aruna)