Sunday, September 21, 2025
Follow Us
ක්‍රිකට් නිළවරණයට පෙර ව්‍යවස්ථා වෙනසක් ඉල්ලා මුරලි ඇතුළු පිරිසක් අධිකරණයට යයි

මුත්තයියා මුරලිදරන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පරිපාලකයන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන රීට් පෙත්සමට අදාලව මාර්තු 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ බළධාරීන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහාණ්‍ය වළක්වා ගැනීමට නම් මීලඟ නිළවරණය පැවැත්වීමට පෙර අළුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටිනවා. වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ ක්‍රිකට් පරිපාලනයට විවිධ දේශපාලන හා බාහිර බලපෑම් එල්ල වන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙ නිළවරණයට පෙර ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු නීතිමය වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා සිටී.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු පාර්ශවකරුවන් 12 දෙනෙකු පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරයි.

(LNW)