කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසනවා. කරුණු 07 ක් මත කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි මහාචාර්යවරිය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ.
පසුගිය දෙසැම්බර් 24 වැනිදා මෙම කමිටුව පත්කළ අතර ඉතා ඉක්මනින් නිර්දේශ අවශ්‍ය බව දැනුම් දුන් හෙයින් දෙසැම්බර් 28 වැනිදා වනවිට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව ඇය පවසනවා.
බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති භූගත ජලය හරහා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් මෙරටදී කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති නමුත් විදෙස් රටවල් කිහිපයක සිදුකළ එවැනි පරීක්ෂණ පදනම් කර ගනිමින් කමිටුවේ වාර්තාව සකස් කළ බවයි මහාචාර්යවරිය පවසන්නේ.
ජෙනිෆර් පෙරේරා කමිටුව ලබා දී ඇති නිර්දේශ,
1. භූමදානය කරන සිරුරක් නම් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත්කළ යුතුය. ඔහු එම කටයුත්ත අධීක්ෂණය කළ යුතුය.
2. භූමදානය කරන සිරුර එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාමට අවසර නොලැබේ.
3. පැය 24 ක් තුල භූමදානය හෝ ආදාහනය කළ යුතුයි.
4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් මියගිය පුද්ගලයාගේ දේහය ආරක්ෂිත දුරකින් සිට බැලීමට අවසරය ලබා දිය යුතුය.
5. භූමදානය කරනවා නම් ජලයට නිරාවරණය නොවන ආකාරයේ ඩබල් බොඩි බෑගයක (මළසිරුරු බහාලන බෑග්) මෘත ශරීරය තැන්පත් කර එය මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය.
6. ආදාහනය හෝ භූමදානය කරන ස්ථානයට ආගමික නායකයෙකුට පැමිණ ආගමික චාරිත්‍ර ඉටු කිරීමට අවස්ථාව ලබා දිය යුතුය.
7. මිනී පෙට්ටියට බහාලිමෙන් අනතුරුව කිසිම හේතුවක් නිසා එය විවෘත නොකළ යුතුය.
(LNW)