Sunday, September 21, 2025
Follow Us
පෙබරවාරි මස 23 දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත මුස්ලිම් විරෝධතාවයක්

කොවිඩ් අසාදනයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට කිරීමට අනුමැතිය දෙමින්; පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරට පැමිණෙන දිනය වන පෙබරවාරි මස 23 වනදාට පෙර රජය විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් නොකළහොත්, පෙබරවාරි මස 23 වන දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.

පාකිස්තාන රාජ්‍ය නායකයෙකු 2016 වසරේ දී මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව එරට කිසිදු ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරයක නිරතව නොමැති අතර කෙටි ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා පෙබරවාරි මස 23 වනදා පාකිස්තාන අගමැතිවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙරට මුස්ලිම්වරුන්ගේ මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට විරෝධතාවයක් පලනොකර පකිස්ථාන රජය විසින් ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාවට සහය දෙන්නේ නම් පකිස්තානු අගමැතිවරයා එන දිනයේ දී සංඛේතාත්මක විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම මෙරට පකිස්තානු තානාපතිවරයා හමුවී දැනුම් දී ඇත.

මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය මේවනවිට පකිස්ථානයට හිමිව ඇති අතර, මාර්තු මාසයේ දී ජිනිවා හි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ දී පකිස්ථානය ඇතුළු මුස්ලිම් රටවල සහය ශ්‍රී ලංකාව වෙත ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය බලවත් උත්සාහයක් දරමින් සිටියි.

(Lanka LEads)