Sunday, September 21, 2025
Follow Us
අමතර කොටස්වල හැංගී ලක්ෂ 1800ක සුපිරි වාහන වරායට

වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 1800 ක් වටිනා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේ ජාවාරමක් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

වාහන අමතර කොටස් මුවාවෙන් ආනයනය කර තිබූ අඩි 40 ක් දිග බහාලුම් හතරක් චීන වරාය ජාත්‍යන්තර බහාලුම් අංගණයේදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් ඊයේ (10 වැනිදා) පෙරවරුවේදී විවෘත කරන ලදි.මෙම බහාලුම් මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ අංගණයක් නමින් ජපානයේ සිට මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.

එක් බහාලුමක වාහන එන්ජින් බහා තිබූ බවත්, අනෙක් බහාලුම් තුනෙහි වාහන තිබූ බවත් රේගු නිලධාරීන් පවසති.මෙම බහලුම් මෙරටට ආනයනය කර ඇත්තේ 2019 වසරේදී බවද රේගු නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එක් බහාලුමක වාහන තුන බැගින් තිබූ බව රේගු නිලධාරීන් කරන ලද පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ. හයිඒස් කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථ තුනක්, ජීප් රථයක් සහ නෝවා වර්ගයේ වෑන් රථ පහක් මෙම බහාලුම්වල තිබී ඇත.
මෙම බහාලුම් මෙරටට ආනයනය කරන ලද මිනුවන්ගොඩ වාහන එකලස් කරන ආයතනයේ හිමිකරු මීට ඉහතදීද මෙයාකාරයෙන්ම වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් වාහන ගෙන්වා රජයට විශාල බදු මුදලක් වංචා කර ඇතැයිද, ඒ සම්බන්ධවද රේගුව පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙන බවද පැවසේ.

වාහන ගෙන්වන ලද පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා රේගුව විමර්ශනයක් අරඹා ඇත. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.

(Aruna)