ආරම්භයේදී ශ්‍රී ලංකාව මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කළ නමුත් කොවිඩ් 19 වයිරසය හේතුවෙන් සිදු වූ පළමු මුස්ලිම් ජාතිකයාගේ සිරුර බලහත්කාරයෙන් ආදාහනය කරමින් ශ්‍රී ලංකා රජය අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳ’ මුල් ප්‍රතිපත්තිය වෙනස් කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කරයි. ඔස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු එසේ ප්‍රකාශ කර තිබේ.
‘‘ආරම්භයේදී ශ්‍රී ලංකාව භූමදානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කළා. නමුත් පළමු මුස්ලිම් ජාතිකයා මිය යෑමත් සමග (කොවිඩ් -19 වසංගතයෙන්) ශ්‍රී ලංකාව සිය මුල් ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඊළඟ දිනයේ එම සිරුර බලහත්කාරයෙන් පුළුස්සා දැමුවා. එම සිදුවීම හරහා තමයි අපගේ මෙම චෝදනා ගොඩනැගී ඇත්තේ. මෙය සිදුකරන්නේ ජාතිවාදී පදනමකිනුයි. එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ.
මා විසින් මෙම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ අවස්ථාවේදී රජය පාර්ශ්වයෙන් තර්ක කරනු ලැබුවේ මළ සිරුරුවල වයිරසය නොනැසී පවතිනවා යැයි පවසමින්. නමුත් වයිරසය එමගින් පැතිරෙන බවට සාක්ෂි ඉදිරිපත් කෙරුණේ නැහැ. මුස්ලිම් ජනතාව සිය සමීපතමයන්ගේ සිරුරු තැන්පත් කිරීම සඳහා කොන්ක්‍රීට් මිනී වළවල් ඉදිකිරීමට පවා කැමැත්ත පළ කළා. නමුත් සිය මතයෙන් බැහැරවීමට අකැමැති නිසා රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.
සිරුරු භූමදානය ප්‍රතික්ෂේප කරන එකම රට ශ්‍රී ලංකාව පමණයි. අපට චීනය සම්බන්ධයෙනුත් පැහැදිලි අදහසක් නැහැ. නමුත් ලොව රටවල් එකසිය අසූ අටක කොවිඩ් වයිරසය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දී ඇති බව අප සාක්ෂි සහිතව අවධාරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ආදාහනය මෙන්ම භූමදානයටත් අවසර ලබා දී තිබෙනවා.
මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන්ම වයිරසයට ගොදුරු වන්නේ ඔවුන්ගේ ජනාකීර්ණ ජීවන රටාව හේතුවෙන්. එය අනෙක් ජන ප්‍රජාවන්ට වඩා ඉහළ අගයක් ගන්නවා. නමුත් වෙනත් ප්‍රදේශවලත් වයිරසය පැතිරී තිබෙනවා. මේ පිළිබඳ අපගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් තවත් පාර්ශ්ව කිහිපයකුත් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් තිබෙනවා. එහෙත් මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීමට අධිකරණය කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා.’’
(Aruna)