Monday, September 22, 2025
Follow Us
කොවිඩ් මරණ අවම කරගැනීමට එන්නත්කරණය කාර්යක්ෂම කරන්න - GMOA බලධාරීන්ගෙන් ඉල්ලයි

කොවිඩ් 19 මරණ අවම කර ගැනීම සඳහා එන්නත්කරණය කාර්යක්ෂම කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ වන විට වාර්තා වන මරණ වලින් 70%ක් පමණ වාර්තා වන්නේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුද්ගලයන් අතුරින් වන හෙයින් එම මරණ අවම කර ගැනීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කළ යුතුව ඇති බවයි.

මේ වන විට සෞඛ්‍ය සේවකයින් ඇතුළු කොවිඩ් මර්දනයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් වෙත එන්නත් කිරීමද සිදුවන අතර තවත් යම් කාලයක් ඒ සඳහා ගතවනු ඇති හෙයින් ජනතාවට එය ලබා දීමේදී ඊට වඩා වැඩි කාලයක් යන හෙයින් සමාජය තුළ ප්‍රතිශක්තිකරණයේ ස්ථාවරභාවයක් ඇතිකර ගැනීම සඳහා එන්නත් හැකි ඉක්මණින් ලබා දිය යුතු බවයි අළුත්ගේ මහතා එහිදී පෙන්වාදුන්නේ.

දැනට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින අයගෙන් අවුරුදු 60ට වැඩි අය වාර්තා වී ඇත්තේ 10%ක් වැනි ප්‍රතිශතයක් වුවත් මරණ වැඩි වෙමින් තිබෙන්නේ එම 10%ක් වැනි සුළු ප්‍රතිශතයෙන් බවද හෙතෙම කියා සිටියේය.

එම නිසා වයස අවුරුදු 60ට වැඩි අය සදහා එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කළ යුතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

කෙසේවෙතත් වැඩිහිටි අය අතරට රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගෙන තිබෙන බව ආසාදිත 10%න් පෙන්නුම් කරන අතර එය හොද තත්ත්වයක් වුවත් ඔවුන් අතර ආසාදිතයින් වැඩිවුවහොත් අසාමාන්‍ය ලෙස එම මරණද ඉහළ යා හැකි බව වෛද්‍ය අළුත්ගේ මහතා පැවසුවේ.

එමෙන්ම පසුගිය දිනවල රෝග ව්‍යාප්තිය දෙස බලන විට එනම් පසුගිය සතියක කාලය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 800 සීමාව පසුකර තිබුණද දින දෙකක පමණ සිට එය 700 සීමාව දක්වා අඩු වී තිබුණද එය සැබෑ ලෙසම ආසදිතයින්ගේ අඩුවක් නොව PCR ධාරිතාවයේ අඩු වීමක් නිසා ඇති වූ තත්ත්වයක් බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

'' දවසකට සාමාන්‍යයෙන් මරණ 05ක් වාර්තා වෙන තත්ත්වයක් තිබෙනවා. එය 7-8 සීමාවට යන අවස්ථාත් තිබෙනවා. මරණවලින් අති බහුතරයක් පෙන්නුම්කරන්නේ බස්නාහිර පළාතෙන් පිට. රෝග අවදානමත් බස්නාහිරින් පිටට යන තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් කුරුණෑගල මේ වෙද්දී තද බල අවදානමක තිබෙන්නේ. නුවර,බදුල්ල ප්‍රදේශත් අධි අවදානම් වෙලා. මාතර,නුවරඑළිය ප්‍රදේශවලත් රෝගය වැඩි වෙමින් තිබෙනවා.''

එම නිසා මෙම තත්ත්වය කළමනාකරණය කර ගත යුතු හෙයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා තුනක් ඉදිරිපත් කර සිටියි.

එනම් පරීක්ෂණ ප්‍රතිපත්තියේ වෙනසක් නැතහොත් යාවත් කාලීන වීමක් අවශ්‍ය අතර නිරෝධායන ප්‍රතිපත්තියේ වෙනසක්ද සිදුවිය යුතු බව අළුත්ගේ මහතා පැවසුවේය. මේ අතර රෝගීන් රෝහල් ගත කිරීමේ ප්‍රතිපත්තිය යාවත්කාලීන වීම වැදගත් බව කියා සිටි ඔහු පෙන්වාදුන්නේ මේ වන විට වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත එන අය ද කොවිඩ් පොසිටිව් වෙමින් තිබෙන අතර එය හොඳ තත්ත්වයක් නොවන බවයි. රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුවෙමින් බවත් මෙතැනදී දෛනිකව ජාතික රෝහලෙන් ආසාදිතයින් 20-25ක් වාර්තා වීම තුළ කොවිඩ් ප්‍රතිකාර සිදුනොකරන රෝහලක් ලෙස කොළඹ ජාතික රෝහලේ දැඩි අර්බුදයක් මතුව තිබෙන බවද අළුත්ගේ මහතා කියාසිටින ලදී.

(LNW)