Monday, September 22, 2025
Follow Us
වරාය සේවකයන් අකුරට වැඩ කිරීම අත්හරී - බටහිර පර්යන්තය වසර 35 ක් සඳහා ආයෝජකයින්ට

සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 10.30 සිට අත්හළ බව වරාය වෘත්තීය සමිති පවසනවා. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, නෙත් නිවුස් වෙත කියාසිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම පිළිබද විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හළ බවයි.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම පිළිබද අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මේ, එහිදී අදහස් පළ කළ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල.

මේ අතර ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශවයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව, කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ, කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර හා ක්‍රියාත්මක කර, වසර 35 කින් ආපසු භාරදීමේ පදනම මතයි.

කොළඹ වරාය මෙම කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින් එම කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

(Neth)