කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වයිරසය ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින අයැදුම්කරුවන්ට මෙම මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ (31 වැනිදා) පැවසීය. මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කර අවශ්‍ය විධිවිධාන යොදා ඇතැයි ද ඒ මහතා කීවේය.
මේ වන විට බස්නාහිර පළාතේ සිසුන් කිහිප දෙනකුටම වයිරසය වැලඳී තිබෙන බව වාර්තා වී තිබෙන අතර එම සිසුන් සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගන්නා ලෙස පාසල් ප්‍රධානීන්ට දන්වා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් සඳහන් කළේය.
මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ හයලක්ෂ විසි එක් දහසක් පමණ පෙනී සිටිති. මාර්තු මස පළමු වැනිදා සිට දහවැනිදා දක්වා විභාගය පැවැත්වේ.
විභාගය වෙනුවෙන් මෙම මස 26 වැනිදා පාසල් නිවාඩු ලබා දෙන අතර යළි පාසල් ආරම්භ කෙරෙන්නේ මාර්තු මස 14 වැනිදා ය.
(Aruna)