Thursday, April 25, 2024
Follow Us
වාහන ගෙන්වීම නැවැත්වීමෙන් බිලියන 80ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි රේගු වෘත්තිය සමිති සන්ධානයේ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ උප සභාපති ලාල් වීරකෝන් පවසයි.

රේගු වෘත්තීය සමිති සන්ධානය රේගු මූලස්ථානයේ දී ඊයේ (26 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි. පසුගිය වසර (2020) 2019 වසරට සාපේක්ෂව භාණ්ඩ ආනයනයන් සියයට 32කින් අඩු වූ බවත් එම තත්ත්වය මත වුවද රේගුව රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 641ක මුදලක් උපයා දුන් බවත් ඔහු කීවේය.

රජය ඉකුත් වසරේ දී (2020) ලබා දී තිබූ බදු ඉලක්කය රුපියල් බිලියන 646කි. නමුත් එම ඉලක්කය සියයට 99කින් සම්පූර්ණ කර ගත හැකි වූ බවත් උප සභාපතිවරයා පවසයි.

වැට් බදු ආදායම සියයට 15 සිට සියයට 8 ක් දක්වා අඩු කිරීම නිසා රජයට අහිමි වී තිබෙන බදු ආදායම රුපියල් බිලියන 80කි. 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී වාහන බදු ආදායම අඩුවීම සම්බන්ධව රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මෙසේ කීවේය.

‘‘වැඩිපුරම බදු ආදායමක් ලැබෙන්නේ වාහන ආනයනය කිරීමේදීයි. බදු වැඩි වශයෙන් ලැබෙන භාණ්ඩ කීපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි වාහන. දෙවැන්න ඉන්ධන වර්ගයි. මීළඟට කිරි ඇතුළු නිෂ්පාදනයි. වාහන ආනයනය නතර කිරීම නිසා ලැබෙන බදු මුදලේ ආදායම අඩු වූවත්, වක්‍රාකාරව විදේශ විනිමය රටට ඉතිරි වී තිබෙනවා.

(Aruna)