Monday, September 22, 2025
Follow Us
මාස 03 කට පසු බස්නාහිර සාමාන්‍ය පෙළ පන්ති ඇරඹෙයි

බස්නාහිර පළාතේ පාසැල් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද සිට යළි විවෘත කෙරෙනවා. ඒ, මාස 03 කටත් අධික කාලයකට පසුවයි. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක සිසු දරුවන් 73,319 කට අද සිට පාසැලේ දොර විවෘත වනු ඇති.

කොරෝනා දෙවන රැල්ලේ හිස එසවීමත් සමග සියලු පාසැල් ඉකුත් ඔක්තෝම්බර් 05 වනදා සිට වසා දැමුණා. පසුව ඉකුත් 11 වනදා පාසැල් විවෘත කිරීමට අවසර හිමිවුවද, බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීමට අවසර හිමිවූයේ නැහැ. අද දිනයේ ද, බස්නාහිර පළාතේ පාසැල් විවෘත වන්නේ මාර්තු මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන්. කෙසේවෙතත්, බස්නාහිර පළාතේ හුදෙකලා කළ පොලිස් බලප්‍රදේශවල පාසැල් අද විවෘත වන්නේ නැහැ.

සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් අද සිට බස්නාහිර පාසැල් විවෘත වන්නේ ඇයි? මේ, ඊට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.

බස්නාහිර පළාතේ පාසැල් මෙලෙස විවෘත කරන්නේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ.

කොරෝනා වෛරසය සමාජයේ ඕනෑම ස්ථානයක තිබිය හැකි බැවින් දරුවන්, ගුරුවරුන් මෙන්ම මව්පියන් ද සෞඛ්‍ය රීති සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ. සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැසිරීම මත සෙසු දරු දැරියන්ට ද පාසැල් විවෘත වන දිනය තීරණය වන බව ලේකම්වරයා අවධාරණය කළා.

බස්නාහිර පළාතේ ඇති සමස්ථ පාසැල් සංඛ්‍යාව 1,576 ක්. ඉන් පාසැල් 900 ක් සෞඛ්‍ය ආරක්ෂිතව යළි ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත්තේ. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ මත පදනම්ව පෙබරවාරි 15 වනදා සිට එම පාසැල් ආරම්භ කිරීමට ද නියමිතයි.

මේ අතර බස්නාහිර පළාතේ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට ද අද සිට අවසර හිමිව තිබෙනවා.

එහිදී එක් පන්තියකට සහභාගී කරගත හැක්කේ ආසන සංඛ්‍යාවෙන් හරි අඩක් හෝ උපරිම සිසුන් 100 දෙනෙකු පමණයි. මෙවර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පමණක් එම උපකාරක පන්ති ආරම්භ කරන ලෙසටයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

මේ අතර අද දිනයේ පාසැල් ආරම්භ කිරීමත් සමග පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවදානයකින් යුක්තව කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ. ඒ අනුව පාසැල් වෑන්රථ රියදුරන් හා සහායකයින් අද සිට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද නියමිතයි.

(Neth)