Friday, March 29, 2024
Follow Us
තාක්ෂණවේදය උගන්වන පාසල් 100කට විද්‍යාගාර නැහැ

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව උගන්වන පාසල් සියයකට අධික ප්‍රමාණයකට එම තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා විද්‍යාගාර පහසුකම් නැති බව අනාවරණය වේ. එහෙයින් එම විෂය ධාරාව හදාරන සිසුහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

වසර පහක පමණ කාලයක් තිස්සේ මෙම පාසල්වලට විද්‍යාගාර පහසුකම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි වී නැත.

තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය හා ඉංජිනේරු තාක්ෂණවේදය යන විෂයයන් සඳහා විද්‍යාගාර පහසුකම් අනිවාර්ය වන අතර එම පහසුකම් නොමැති සිසුන්ට වෙනත් පාසල්වලට ගොස් පහසුකම් ලබා ගැනීමට සිදු වී ඇත.

තාක්ෂණවේදය විෂයධාරාව පාසල් හාරසියයක පමණ ක්‍රියාත්මක වන අතර එම විෂයධාරාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව විසිපන්දහසකට ආසන්න ය. මේ අතරින් විද්‍යාගාර පහසුකම් ඇත්තේ පාසල් 280ක පමණය.

පවතින තත්ත්වය යටතේත් මෙම වසරේ (2021) දී ද ඉදිකිරීමට අනුමැතිය ලැබී ඇත්තේ විද්‍යාගාර හතරක් පමණක් බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම විද්‍යාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් දසලක්ෂ තිස් හයක් පමණ වැය වන අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ සඳහා ද රුපියල් දස ලක්ෂ හතරක් පමණ වැය වෙයි.

විදේශාධාර යටතේ පසුගිය වසර වන තෙක් ක්‍රියාත්මක වූ තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය ද මේ වන විට අක්‍රිය කර එම ව්‍යාපෘතියේ කටයුතු අමාත්‍යාංශයට පවරා තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ විද්‍යාගාර ඉදි කිරීමට සාපේක්ෂව පසුගිය යහපාලන ආණ්ඩුව වැඩි අවධානයක් ගෙන තිබුණේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය වෙනුවෙනි. එම තත්ත්වය මත විද්‍යාගාර ඉදිකිරීමට වැඩි අවධානයක් යොමු නොවූ බව ද ඉහත ආරංචි මාර්ග කීවේය.

තාක්ෂණවේදය විෂය ධාරාව උසස් පෙළට හඳුන්වා දුන්නේ 2013 වසරේ දී ය. එම විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සිසුහු දෙදහස් දෙසිය විසි පස් දෙනෙක් මෙම වසරේ දී උපාධි ලබති.

(Aruna)