බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ ඉදිරි සති දෙක තුළ මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වන බවයි.
බේකරි හිමියන් බහුලව භාවිතා කරන ආනයනික ෆාම් ඔයිල් සහ ආනයනික මාජරින් සඳහා පනවා ඇති ආනයන බදු හේතුවෙන් මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
ෆාම් ඔයිල් ලීටරයක් සඳහා රජය විසින් රුපියල් 250 ක තීරු බද්දක් අය කරන බැවින් මේ වනවිට ෆාම් ඔයිල් ලීටරයක මිල රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආනයනික මාජරින් සඳහා රුපියල් 400 ක බද්දක් පනවා තිබීම හේතුවෙන් මාජරින් කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවා තිබෙන බවද එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් බේකරි හිමියන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත් මේ දක්වා එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ. ඒ අනුව නිෂ්පාදනවල මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.
(LNW)