Thursday, April 25, 2024
Follow Us
රෝහල්ගත වන රෝගීන් අතරින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සීඝ‍්‍ර අඩුවීමක්

රෝහල් ගත වන රෝගින් අතරින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සීඝ‍්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. කොරෝනා වසංගත තත්වය පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙම කාලසීමාවේදී දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබුණ ද මෙම වෛරසය සම්පූර්ණයෙන් රටතුළ පාලනය වී නොමැති බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. එබැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය ක‍්‍රමවේද අනුව කටයුතු කිරීම ඉතා ගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ ඇගලූම් කර්මාන්තශාලා 02 ක පළමු පෙළ ආශ‍්‍රිතයින් 829 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ, එම ඇගලූම් කර්මාන්තශාලා දෙකේ සේවක - සේවිකාවන් 39 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි. මෙම ඇගලූම් කර්මාන්තශාලා 02 තුළ සේවක - සේවිකාවන් 1200 ක් පමණ සේවය කරනවා.

ඉකුත් දින 07 ක කාලයක තුළදී එහි සේවක සේවිකාවන් 32 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ගාල්ල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සදහන් කළේ.
මේ අතර නාවලපිටිය නගරයේ පිහිටි සියලූ වෙළඳසැල් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමෙන් අනතුරුවයි.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුලදී මෙරටින් තවත් නව්‍ය කොරෝනා ආසාදිතයින් 320 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,219 ක්.

මේ අතර මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,000 දහසේ සිමාව අද ඉක්මවා ගියා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 512 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව යාමත් සමගයි. ඒ අනුව
මේවනවිට කොරෝනා ආසාදිතයින් 44,259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

මේ අතර සමූහ ක‍්‍රියාකාරම්වල යෙදීමෙන් වළකින ලෙස හුදකලා බවින් ඉවත් කෙරුණු ප‍්‍රදේශවල ජනතාවගෙන් පොලිසිය අද යළි ඉල්ලීමක් කළා.

එම ප‍්‍රදේශවල ජනතාව නිරෝධායන රීතින්ට අනුව කටයුතු නොකරන්නේ නම් යළිත් එම අදාළ ප‍්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

(Neth)