Friday, April 26, 2024
Follow Us
කොවිඩ් ආසාදිත වෛද්‍යවරයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක්වූ පාදෙනිය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුවී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, සිය නිවසේ සේවයේ සිටි කාන්තාවක් ඇරලීමට අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවයි.

කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරියට දුරකථන ඇමැතුමක් ලබාදී ඒ බව දැනුම් දී ඇති බවද ඔහු කියා සිටී.

එ​සේම නිවසට පැමිණි වහා ඒ බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරියට දැනුම් දෙන බවද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසා ඇති බව උපුල් රෝහණ පැවැසීය.

කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට දුරකථන ඇමැතුම් ලබාගත්තද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසට පෙරේදා (13 වැනිදා) රාත්‍රියේත් ඊයේ (14 වැනිදා) පෙරවරුවේ සහ පස්වරුවේත් ගියද එම නිවස වසා දමා තිබූ බව පැවසේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ නිවසේ පසුගිය 8 වැනිදා පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකු 13 වැනිදා කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු විය.

කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බවත් ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව කියයි.

(Aruna)