Wednesday, July 02, 2025
Follow Us
එංගලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පැතිරුණහොත් අපේ සෞඛ්‍යය පද්ධතියට දරා ගත නොහැකියි

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බවයි.

වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේ විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවධනය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා ,
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙනවා. ඒ නිසා විදේශ රටවල සිට පැමිණෙන අය ගැන විශේෂ අවදානය යොමුකළ යුතුයි. මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවත් රෝගය වේගයෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගීවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්.” වෛරස් ආසාදනය විශාල වශයෙන් පැතිරෙන්න ගත්තොත් අපේ සෞඛ්‍යය පද්ධතියට දරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්.මේ වෛරසය අපේ රට තුළට ඇතුළුවීමට තිබෙන ඉඩකඩ අවම කිරීමට අපි උපරිම උත්සාහය ගත යුතුයි” යනුවෙන් පවසා සිටියේය.

(Lanka Leads)