Tuesday, September 23, 2025
Follow Us
දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ තව තවත් ඉහළ දැමිය යුතුයි - GMOA යෝජනා කරයි

මෙරට දිනකදී සිදුකෙරෙන පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ සමාජයේ සිටින ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදුකෙරෙන එම පරීක්‍ෂණ වැඩිකළ යුතු බවයි.

මෙරටදී දිනකට සිදුකෙරෙන පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නැංවීමට අවධානය යොමුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේ, ඒ පිළිබද අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 525 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 47,305ක් දක්වා ඉහල ගියා. කෙසේවෙතත් ඉන් 40,317 දෙනෙකු මේ වන විටත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,763ක් වනවා. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 03ත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහල ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

(Neth)