Tuesday, May 14, 2024
Follow Us
කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සමූහික තීරණයකට එළඹෙන්නැයි වෛද්‍ය පාර්ශවයකින් ඉල්ලීමක්

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් ඊට අදාළ විශේෂඥයන් සාමුහික තීරණයකට එළැඹ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ එම තීරණය ගත යුත්තේ විද්‍යාත්මක පදනමක් මත පමණක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම යෝග්‍ය දැයි කමිටුවක් හරහා ලබාගත් තාක්‍ෂණික වාර්තාව ඉදිරියේදී එළිදක්වන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ මෙරට තුළ භූමදානය කිරීමෙන් ගැටළුවක් මතු නොවන බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ඊයේ ප‍්‍රකාශ කළා. එම මෘත ශරීර මෙරට තුළ භූමදානය කිරීම පිළිබද සිය සංගමය කළ විශේෂඥ විශ්ලේශණය අනුව ඒවා භූමදානය කිරීමෙන් සෞඛ්‍යමය ගැටළුවක් මතු නොවන බවට හෙළිවී තිබෙන බවයිි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමෙන්, එම දේහය මගින් අදාළ වෛරසය ජලයට මිශ‍්‍ර වන බව හෝ එමගින් වෙනත් අයෙකුට වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව ශී‍්‍ර ලංකා ප‍්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය ද ඉකුත්දා ප‍්‍රකාශ කළා.

මේ අතර කොරෝනා මරණ තුනක් ඊයේ දිනයේ වාර්තා වීමත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහල ගියා. කොරෝනා ආසාදිතයින් 515ක් ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 44,371ක් දක්වා ඉහල ගියා. කෙසේවෙතත් එම පිරිසෙන් 36,717 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ආසාදිතයින් 7,443 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)