Monday, May 13, 2024
Follow Us
මගේ පැණිය රටේ ඉහළම ප්‍රභූවරුන් සහ ඔවුන්ගේ දරුවන් බිව්වා. ආයුර්වේද සභාවේ අනුමැතියත් ලැබුණා - ධනපාල

කොවිඩ් මර්දනය සඳහා කාලි මෑණියන් විසින් තමන්ට ලබාදුන් වරමක් අනුව තමන් නිපදවූ පැණිය මෙරට ඉහළම ප්‍රභූවරුන් සහ ඔවුන්ගේ දුවා දරුවන් පානය කළ බවත් ඔවුන්ව කොවිඩ් රෝගයන් ආරක්ෂා කරගැනීමට තමන්ට හැකිවූ බවත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොහොත් ධනපාල කපු මහතා පවසයි.

"මේ මුළු ලෝකෙම කාටවත් හොයාගන්න බැරිවුණු බෙහෙතක් තමයි මං හොයාගත්තෙ. ඒක මට පළමු ගෞරවය තියෙන්නෙ ශ්‍රී වීර මහා භද්‍ර කාලි මෑණියන්ට. මෑණියො තමයි මේ බෙහෙත දුන්නේ.

මේ රටේ ඉහළ ප්‍රභූවරුන්ට, ඒ අයගේ දුවා දරුවන්ට, ඒ වගේම රාජ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වගේ සියලු දෙනාටම මං මේ බෙහෙත දීලා ඒ අය මං ගොඩක් නිරෝගී කරගත්තා.

මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔය නිලධාරී මහත්තුරුන්ටත් මේ පරීක්ෂණය කරපු අයටත් මාධ්‍යයටත් මං කියනවා මේක හරි ගවේෂණයක් කරන්න. හරියට තොරතුරු දැනගෙන මඩ ගහන්න. ගහන තරමක් ගහන්නෙ මඩ. මේ බෙහෙතට අගෞරව කරන්න එපා. මේ බෙහෙත බීලා බොහොම හොඳට නිරෝගී වූ අය ඉන්නෙ.

දැන් ආයුර්වේද සභාවෙන් අනුමැතියක් ලැබුණා මේ බෙහෙත හදලා දෙන්න කියලා. ඒ වගේමයි රටේ ඉහළම අය කිව්වා මේ බෙහෙත හදලා කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න කියලා. මං වඩුබාස් කෙනෙක් වෙන්න පුළුවන්, මේසන්බාස් කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි මං හොයාගත්ත බෙහෙත කියන්නෙ මට වරමකින් දුන්නු දෙයක්. ඒ වරමෙන් දුන්නු බෙහෙත හරියාකාරවම අපි හොයලා බැලුවා, විද්‍යාත්මකව හොයලා බැලුවා. තව අපි විද්‍යාත්මකව හොයාගත්තු දෙයක් තියෙනවා. මේකෙ තියෙනවා මේ බෙහෙත ගැන සම්පූර්ණ විස්තරයක්. මේ පරීක්ෂණය කරලා තියෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නෑ මාධ්‍යවලට. මොකද එතුමලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක අපි තව ටික දවසකින් දෙමු, රජයෙන් හොයන්න දුන්නු දේ හෙව්වට පස්සෙ කියලා.

මං කියන්නෙ මේ රටේ රජයක් තියෙනවා, නීතියක් තියෙනවා. අධිකරණයෙන් ගන්න දෙයක් පමණක් තියලා මට මේ නින්දා අපහාස කිරීම නවත්වන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල කපු මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)