Monday, April 29, 2024
Follow Us
‘උත්සව ණය’ සිහිනය සුන්

රජය හඳුන්වා දුන් ‘උත්සව ණය’ මුදල ලබා දීම ප්‍රකාශයට පත් කළ ආකාරයෙන් සිදුනොවන බව රජයේ, පෞද්ගලික අංශයේ සේවකයන් සහ ස්වයං රැකියා ලාභීහු ප්‍රකාශ කරති. උත්සව සමයේ කොරෝනාවෙන් බැට කන තමන්ගේ ණය සිහිනය සුන්වී ඇතැයි ඔවුහු කියා සිටිති.

මාසික පොලිය සියයට 0.625 යටත් වාරික 10කින් ගෙවා නිම වන පරිදි අයකර ගැනීමට නත්තල් හා අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පහසුකම ලබාදීමට කටයුතු කරන බව රජය ප්‍රසිද්ධ මාධ්‍ය මගින් දැනුම් දී තිබිණි.

රජයේ සේවකයන් තම වැටුප ලබාගන්නා බැංකු ශාකාවට ආයතන ප්‍රධානියා සහතික කළ නාමලේඛනයක් එවීමෙන් අදාළ සේවකයාගේ ගිණුමට ණය මුදල බැර කරන බවත්, සමෘද්ධි, ස්වයං රැකියා ඇතුළු රැකියා ලාභීන්ටද තමන් ගනුදෙනු කරන බැංකුවෙන් ණය මුදල ලබාගත හැකි බව දන්වා තිබිණි.

නමුත් ණය මුදල ලබාදීමේදී රාජ්‍ය බැංකු මෙන්ම අනෙකුත් පෞද්ගලික බැංකු විවිධ කොන්දේසි ඉදිරිපත් කර තිබේ. පුවත්පත් දැන්වීමක් පවා පළකරමින් ප්‍රචාරයක් ලබාදුන් බැංකුව, මේ සඳහා අයදුම්පත පවා නිකුත් කරන්නේ අදාළ වැටුප් වාර්තාවක් ඉදිරිපත් කළ පසුව පමණි.

ඒ අනුව රාජ්‍ය සේවකයකු යම් අයකුට ඇපයක් අත්සන් කර තිබියදී එම වාරික ගෙවීම අඩාළ නම් ණය ඉල්ලුම් කළ නොහැකියි. ණය ඉල්ලුම්කරු මීට පෙර ලබාගත් ණය මුදලක වාරික ගෙවීම අඩාළ නම් ණය ලබාගත නොහැකිය. අදාළ ණය ඉල්ලුම්කරුගේ ශේෂ වැටුප සියයට හතළිහට අඩුනම් ණය නොලැබේ. මේ සියල්ලට යටත්ව ණය මුදල ලැබෙන්නේ මූලික වැටුප අනුව නොව අවසාන ශේෂ වැටුප අනුවය. ඒ අනුව රජයේ සේවකයන් සියයට දහයකටවත් රුපියල් 50,000 ණය මුදලක් ලබාගත නොහැකි වී ඇත.

ඉහත කොන්දේසි සපුරා සම්පූර්ණ කළ අයදුම්පත පාසලක නම් විදුහල්පතිවරයාගේ කොට්ඨාස හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා ගණකාධිකාරි අනුමත කර බැංකුවකට ලබාදිය යුතුය.

මාස තුනක සහතික කළ වැටුප් වාර්තා ඇතුළු ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය. තවත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇපකරුවන් හා වෙනත් කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

ස්වයං රැකියා, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, පෞද්ගලික බස්රථ හිමිකරුවන් ඇතුළු පිරිස සහතික කළ පිළිගත හැකි ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව කියමින් අදාළ බැංකු විවිධ කොන්දේසි ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සහතික කළ ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුය.

විශ්‍රාමිකයන් මෙම ණය මුදල පිළිබඳ විශාල බලාපොරොත්තු ඇතිව සිටියද එයද සුන්වී ඇතැයි ඔව්හු කියති. විශ්‍රාමිකයාට තම හැඳුනුම්පත ඉදිරිපත් කර ණය ඉල්ලුම් කළ හැකි බව චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත. එහෙත් බොහෝ බැංකු එම චක්‍රලේඛ නොතකා අයදුම්පත්‍ර හා කොන්දේසි ඉදිරිපත් කර විශ්‍රාමිකයන් කොරෝනා අවදානමට ලක්කර හමාරය.

කොරෝනා අවදානම හමුවේ වෙනත් ණය මුදලක් ලබාගන්නා ආකාරයට අයදුම්පත්, ඇප කොන්දේසි හා ආයතනවලට ජනතාව රස්තියාදු නොකර පෙර වසරවලදී මෙන් රජයේ සේවකයන්ට පොලියකින් තොර ලබාදුන් උත්සව පූර්ව අත්තිකාරම ලබාදීමට කටයුතු කළේ නම් ආණ්ඩුවට මෙවැනි විරෝධයක් මතු නොවන බව රජයේ සේවකයෝ කියති.

(Aruna)