එළඹෙන උත්සව සමයේදී හැකි පමණ පැණි රස ආහාර පානවලින් ඈත්ව ප්‍රතිශක්තිය වඩවන ආහාරපාන සඳහා මුල්තැන දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිර යන මෙවන් අවදියක ශරීරයේ ප්‍රතිශක්තිය අඩාළ වුවහොත් එය කොරෝනා වයිරසය ශරීරයට දැඩි බලපෑම් එල්ල කළ හැකි යැයි ඇය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පැණි රස අධික ආහාර පාන මගින් ශරීරයේ දියවැඩියා තත්ත්වයන් ඇති කළ හැකි බැවින් එය කොරෝනා වයිරසයට වාසිදායක සාධකය යැයි ඇය පැවසූවාය.
දියවැඩියාව ඇතුළු බෝනොවන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් තමන්ගේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්වලට අනුව ඖෂධ ලබා ගන්නා ලෙසද වෛද්‍ය ගුණවර්ධන මහත්මිය පැවසුවාය.
මේ අනුව විශේෂයෙන්ම අලුත් එළවළු හා පලතුරු වර්ග වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගන්නා ලෙසත් එළවළු හැකි පමණ අමුවෙන් හෝ බාගෙට පිස ආහාරය ගැනීම යෝග්‍ය බවද ඇය පැවසුවාය.
(Aruna)